December, 19, 2022
තමන් කිසිම විටෙක පක්ෂ දේශපාලනයට හෝ මොනම ආකාරයක හෝ දේශපාලනයකට අවතීර්ණ නොවන බවත්, එවැනි අභිලාෂයක් ඇති පුද්ගලයෙක් කිසිම අයුරකින් මහ බැංකු අධිපතිධූරයට පත් නොවිය යුතු බවත් වත්මන් ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කර සිටී.
දිවයින පුවත්පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේය.
එළඹෙන ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉදිරිපත්වීමට සැලසුම් කර ගෙන සිටින බවට පළවන විවිධ ආරංචි මාර්ගවල සත්ය අසත්යතාවය සම්බන්ධයෙන් කළ විමසීමකට ප්රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, මහ බැංකු අධිපතිධූරයට පත්වන පුද්ගලයා අනිවාර්යයෙන්ම ස්වාධීන අයෙකු විය යුතු බවයි.
මහ බැංකු අධිපති විදියට හෝ වෙන කිසිම ආකාරයකට මගේ කිසිම වෙලාවක කිසිම කාලෙක දේශපාලනයේ, පක්ෂ දේශපාලනයේ හෝ මොනම දේශපාලනයක යෙදීමට කිසිම බලාපොරොත්තුවක් නැහැ. එහෙම අදහසක් මගේ ඇත්තෙම නැහැ.
ඇත්තවශයෙන්ම මගේ අදහස මහ බැංකු අධිපති කෙනෙකුට ඒ වගේ අදහසක් නොතිබිය යුතුයි. එහෙම කියන්න හේතුවක් තියෙනවා.
මහ බැංකු අධිපති කෙනෙක් කියන්නේ රටේ මූල්ය ප්රතිපත්තියේ ප්රධාන වගකීම තියෙන පුද්ගලයා. මූල්ය ප්රතිපත්තිය ක්රියාත්මක කිරීමේ දී ජනප්රිය තීන්දු නෙමෙයි ගන්න තියෙන්නේ. අපි පොලී අනුපාතය වැඩි කළා. ජනප්රිය නැහැ. හුඟදෙනෙක් අකමැතියි ඒකට.
නමුත් මම දේශපාලනය කරන්න බලන් ඉන්න පුද්ගලයෙක් නම්, මම ඒ තීන්දුව ගන්නේ නැහැනේ. මට ඕනෑ ජනප්රිය තීන්දු ගන්න. ඒ නිසා තමයි පළවෙනි මූලධර්මය මහ බැංකු අධිපති කෙනෙක් ස්වාධීන වෙන්නේ ඕනේ. මහ බැංකුවත් ස්වාධීන වෙන්නෙ ඕනේ. පත් කරන පුද්ගලයත් ස්වාධීන වෙන්නේ ඕනේ. පත්වන පුද්ගලයා දේශපාලනය නොකරන පුද්ගලයෙක් වෙන්න ඕන. දේශපාලනය කිරීමට බලාපොරොත්තුවක්වත් නැති පුද්ගලයෙක් වෙන්න ඕනේ. එතකොට තමයි මහ බැංකුවක ස්වාධීනය නිවැරදි, ජනප්රිය හෝ ජනප්රිය නොවන තීන්දු ගන්න පුළුවන් වෙන්නේ. ඒක මූලික අවශ්යතාවයක්. එහෙම තියෙන පුද්ගලයෙක් මහ බැංකු අධිපති නොවිය යුතුයි, කිසිම දවසක. ඒ වෙච්ච නිසා තමයි අද අපිට මේ තත්ත්වෙ වෙලා තියෙන්නේ කියන එක තමයි මගේ අදහස.
මම මහ බැංකු අධිපති කෙනෙක් විදියට මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. මේක කවදාවත් කරන්නේත් නැහැ.
December, 19, 2022
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීමේ සහ වර්ධනය කිරීමේ පියවරක් වශයෙන් නේපාලයේ ව්යවසායක සංවිධානය, ව්යාපාරික හමුවීම් මාලාවක් වෙනුවෙන් ප්රථම වරට ශ්රී ලංකාවට ගෙනඒමට ශ්රීලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇත. ශ්රීලංකන්හි වාණිජ මෙහෙයුම් ක්රමෝපාය සහ සේවා කළඹ මගින් විවිධ මට්ටමේ සංචාරකයින්ට සේවා සැපයෙන අතර, MICE හෙවත් රැස්වීම්, දිරිදීමනා සම්මන්ත්රණ සහ ප්රදර්ශන නැරඹීම වෙනුවෙන් පැමිණෙන සංචාරකයින් ද ඒ අතර ප්රධාන තැනක් ගනියි. එහිදී MICE සංචාරකයින්ට අවශ්ය සියලුම මූලික සේවා එනම්, ගුවන් ගමන් පහසුකම්, හෝටල් නවාතැන්, මගී අන්තර්මාරු සේවා, රට තුළ අභ්යන්තර චාරිකා ආදී බොහෝ සේවා ලබාදීමේ හැකියාව ශ්රීලංකන් ගුවන් සේවය සතු ය.
ව්යවසායකයින් වෙනුවෙන් නිර්මාණය කෙරුණු ලොව එකම සුහද ව්යවසාය ජාලය වන ව්යවසායක සංවිධානයේ නේපාල ශාඛාව තුළ විවිධ කර්මාන්ත ක්ෂේත්රවලට අයත් ව්යවසායකයෝ 100කට ආසන්න පිරිසක් සාමාජිකත්වය දරති. ඔවුහු ව්යාපාරික හමුවීම් මාලාවක් වෙනුවෙන් ඉදිරි මාස කිහිපය තුළ ශ්රී ලංකාවට පැමිණීමට නියමිත ය. එහි පළමු කණ්ඩායම පසුගියදා මෙරටට පැමිණි අතර, Reliance Group Nepal; City Tech; Khangri Sourcing; Mercantile group; ARKS Capital Advisors; සහ Siddhartha Group වැනි නේපාලයේ ප්රධාන පෙළේ සමාගම්වල ප්රධානීහු, උප සභාපතිවරු, අධ්යක්ෂවරු සහ ප්රාග්ධන උපදේශකයෝ ඒ අතර වූහ.
නේපාලයේ ව්යවසායක සංවිධානය මගින් ශ්රීලංකන් ගුවන් සේවයේ MICE සේවා අපේක්ෂා කිරීමට ප්රධාන හේතුව වූයේ ගුවන් සේවයේ පළපුරුද්ද සහ ගමනාන්ත වැඩසටහනක් සාර්ථකව අවසන් කිරීම සඳහා අවැසි සම්පූර්ණ පරාසයක සේවා සැපයීමට ගුවන් සේවය සතු හැකියාව ය. කොළඹ සහ නේපාලයේ කත්මණ්ඩු නුවර අතර සතියකට සෘජු ගුවන් ගමන් වාර පහක් සපයන එකම ගුවන් සමාගම ද ශ්රීලංකන් වේ.
මීට අමතරව, ගුවන් සමාගමකට පමණක් ලබා දිය හැකි ප්රතිලාභ වශයෙන් සැළකිය හැකි විශේෂ ගුවන් ගමන් ගාස්තු, පිටත්වීමේ ගුවන් තොටුපළේ විශේෂිත කවුන්ටරයක් ඇතුළු ගුවන් තොටුපළ පහසුකම් සැපයීම, කණ්ඩායම් වශයෙන් check-in සේවා සැපයීම, ආසන විකල්ප සහ ගුවන් යානයට පිවිසීමේදී විශේෂ පිළිගැනීමක් ලබාදීම වැනි සුවිශේෂී ප්රතිලාභ ඔවුන්ට ලබාදීමට ද ශ්රීලංකන් පියවර ගත්තේය. දේශීය සංචාරක වෙළඳ හවුල්කරුවන් සමඟ එක්ව, නේපාල ව්යවසාය සංවිධානයේ නියෝජිත පිරිසට ශ්රී ලංකාව තුළ ගුණාත්මක අත්දැකීමක් ඇති බව සහතික කිරීම සඳහා එම ගුවන්ගමන්වලදී ශ්රීලංකන් තම සියලු අන්තර්මාරු නැවතුම් ඉවත් කිරීමට ද කටයුතු කළේය.
″මම මෑතකදී නේපාල ව්යවසායක සංවිධානය සමඟින් කත්මණ්ඩු සිට කොළඹ බලා ශ්රීලංකන් ගුවන් සේවය මගින් ගමන් කළා. ගුවන් යානය තුළදී ඔවුන් ලබාදුන් සේවය විශ්මයජනකයි. කොළඹට ළඟා වූ පසුවත්, මට උණුසුම් පිළිගැනීමක් සමඟ සුහද සේවාවක් ලබාදුන් ගුවන්තොටුපොළ කාර්යමණ්ඩලය, ගුවන් තොටුපොළ තුළ මගේ සියලු කටයුතු පහසුවෙන් කරගැනීමට සහාය වුණා. ව්යවසාය සංවිධානයේ නේපාල ශාඛාව වෙනුවෙන් ශ්රීලංකන් ගුවන් සේවයේ MICE කණ්ඩායම ලබාදුන් සහායට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ශ්රීලංකන් ගුවන් සේවය ඔස්සේ නුදුරේදීම නැවත වරක් ශ්රී ලංකාවට පැමිණීමට මම බලාපොරොත්තු වෙනවා″, යනුවෙන් Khangri Sourcing සමාගමේ මෙහෙයුම් සහ ව්යාපාර සංවර්ධන අංශයේ නේපාල උප සභාපති සේරින්ග් ශර්පා ප්රකාශ කළේය.
ඉන්දියනු සාගරයේ ක්රමෝපායික පිහිටීමත්, යුරෝපයට, මැදපෙරදිගට, මධ්යම ආසියාවට සහ ඈත පෙරදිගට මධ්යගතව පිහිටීමත් නිසා ගෝලීය වසංගතයට ප්රථම ශ්රී ලංකාව, MICE සංචරණය සඳහා ආසියාවේ ජනප්රියතම ගමනාන්තයක්ව පැවතුණි. 2019 වසරේ අවසානය වනතුරු ශ්රී ලංකාව සත්කාරකත්වය දැරූ අන්තර්ජාතික ඉසව් බහුතරයක ගුවන් සේවා සහකරු සහ MICE සංචරණ සැලසුම්කරු ලෙස ක්රියා කළේ ද ශ්රීලංකන් ගුවන් සේවය යි. වර්තමානයේදී, සංචාරක කර්මාන්තය නැවතත් පුනර්ජීවනය ලබමින් සිටින මේ මොහොතේ, නිවැරදි දිශාව බලා යමින්, නැවත වරක් ශ්රී ලංකාවට ගෝලීය ඉසව් ගෙනඒමට ශ්රීලංකන් සිය උපරිමයෙන් ක්රියාකරයි.


December, 19, 2022
එළඹෙන වසරේ ස්වයංපෝෂිත රටක් ඇති කිරීම සඳහා ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහන සමග එක්වන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා රොටරි සමාජයෙන් ඉල්ලා සිටියේය.
රජය සහ පෞද්ගලික අංශය එක්ව ආහාර වගා කිරීම , ගබඩා කිරීම, නගර වෙත ආහාර සපයන ජාලය ක්රියාත්මක කිරීම සඳහා ඒකාබද්ධ යාන්ත්රණයක් ආරම්භ කර ඇතැයිද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව ප්රකාශ කර සිටියේ රොටරි සමාජයේ ජාත්යන්තර සභාපති ජෙනිෆර් ජෝන්ස් මහත්මියගේ ශ්රී ලංකා සංචාරය වෙනුවෙන් රොටරි දිස්ත්රික්ක 3220 විසින් ශ්රැංග්රිලා හෝටලයේ පසුගියදා (14) සංවිධානය කර තිබු හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
රොටරි සමාජය විවිධ අවස්ථාවල රට වෙනුවෙන් උදව් කර තිබෙනවා. මා අගමැති ධූරයට පත්වූ අවස්ථාවේදී රටේ ඖෂධ හිගයක් ඇති වී තිබුණා. ඒ අවස්ථාවේ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්යවරයා මගෙන් ඉල්ලීමක් කළා ඖෂධ ගැනීමට මුදල් සපයා දෙන ලෙස. රොටරි සමාජය වගේම ආහාර සහ කෘෂිකර්ම සංවිධානයත් අවශ්ය ඖෂධ තොග ලබාගැනීමට ඒ අසීරූ අවස්ථාවේ සහයෝගය ලබා දුන්නා. එදා සහයෝගය දැක්වූවා සේම මේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන සමඟත් සම්බන්ධ වී ඊට සහයෝගය දක්වන ලෙස මම රොටරි සමාජයෙන් ඉල්ලා සිටිනවා.
පොහොර නොමැති ගැටලුවත්, යුක්රේන යුද්ධයේ ආදීනවත් තිබියදී මෙම ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහන අපි ආරම්භ කළේ එළැඹෙන වසරේ දී රට ස්වයං පෝෂිත කිරීමේ අරමුණ ඇතිවයි. අපේ රටට අවශ්ය ආහාර සුරක්ෂිත කිරීම සඳහා වන වැඩසටහන දැනටමත් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා පහළම ස්ථරයෙන් ජනතාවට නායකත්වය සැපයීම සඳහා ප්රාදේශීය ලේකම් කාර්යාලයට පවරා තිබෙනවා. එහිදී ප්රාදේශීය ලේකම්ගේ ඒකාබද්ධ යාන්ත්රණය ක්රියාත්මක කිරීමට එම තලයේ තිබෙන රජයේ සියලුම ආයතන සම්බන්ධ කර තිබෙනවා.
ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, රාජ්ය සේවකයන් මෙන්ම විවිධ පුද්ගලයන් සහ ආයතන මෙම වැඩසටහන ක්රියාත්මක කිරීමට බාරගෙන තිබෙනවා. රොටරි සමාජයටත් ඒ කොට්ඨාස කිහිපයක් බාරගෙන ආහාර වගාකර, ගබඩා කිරීමටත්, සැපයුම් ජාලයට ආහාර සපයන්නටත්, නගරයට ආහාර ලැබෙන බව තහවුරු කිරීමටත් කටයුතු කරන්න අවස්ථාව තිබෙනවා. එමෙන්ම කොළඹ වැනි නාගරික ප්රදේශවල මන්දපෝෂණය, ආහාර හිඟ ජනතාව සහ ඔවුන්ට ආහාර ලබාදීම සම්බන්ධයෙන් අපි අවධානය යොමුකර තිබෙනවා.
රට පුරා ආහාර බෝග වගා කරන අතරතුර ප්රජා මුළුතැන්ගෙය වැනි වැඩසටහන් ආහාර හිඟ ජනතාවට අවශ්ය ආහාර ලබා දෙනවා. ඒ වගේම ජනතාව වෙනුවෙන් තවත් බොහෝ දේ කරන්න තිබෙනවා.
මෙහිදී ඔබලාට හැකියාව තිබෙනවා නම්, කිසිම කෙනෙක් බඩගින්නේ නොසිටින බවට සහතික වීම සඳහා , ආහාර සුරක්ෂිතතා ව්යාපෘතිය සමඟ එකතු වෙන්න. සමාජයේ යම් පිරිසක් ඉතා අපහසු මට්ටමෙන් හිටියත්, අපි සියලු දෙනා එකට එක්වුවහොත් ඔවුන්ගේ අවශ්යතා ඉටුකරදීම සඳහා අපිට ප්රමාණවත් සම්පත් සොයා ගත හැකි බව බව මගේ විශ්වාසයයි.
එහිදී රොටරි සමාජයේ ජාත්යන්තර සභාපති ජෙනිෆර් ජෝන්ස් මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කරන ලද “Imagine One’ s Dream” යන සිතුවම ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
මහාචාර්ය මෛත්රී වික්රමසිංහ, අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල, රොටරි සමාජයේ දිස්ත්රික් ආණ්ඩුකාර පුබුදු ද සොයිසා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.
December, 19, 2022
ගනුදෙනුකරුවන්ගේ මූලික අවශ්යතා සඳහා අත්යවශ්යම කාඩ්පත (‘Essential Card for Essential Needs’) වශයෙන් ජනප්රිය වී ඇති සෙලාන් කාඩ්පත්, එම පිළිගැනීම තවදුරටත් තහවුරු කරගනිමින්, සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් Doc990 සමග එක් වී විශේෂ වට්ටම් හා දීමනා එකතුවක් හඳුන්වා දී තිබේ.
මේ යටතේ රෝහල් 150 කට අධික සංඛ්යාවක විශේෂඥ වෛද්යවරුන් 4,500 කට අධික පිරිසකගේ චැනල් ගාස්තු සඳහා 50% ක වට්ටමක් හිමි වනු ඇත. මෙය සෙලාන් ක්රෙඩිට් කාඩ්පත් හිමියන්ට වඩාත් පහසුවෙන් සෞඛ්ය සේවාවන් ලබාගන්නා අතරම සුවිශේෂී ප්රතිලාභ අත්විඳීමට ලැබෙන මහඟු අවස්ථාවකි.
Dialog Axiata PLC මගින් බලගැන්වෙන Doc990 යනු නවීනතම තාක්ෂණය සහ විශේෂඥ දැනුම එක්තැන් කරන ශ්රී ලංකාවේ එකම පූර්ණ ඩිජිටල් සෞඛ්ය සේවා විසඳුමයි.
සෙලාන් කාඩ්පත් හිමියන්ට App Store හෝ Google Play Store වෙතින් Doc990 ජංගම යෙදවුම බාගත කරගැනීමෙන් හෝ www.doc.lk වෙබ් අඩවියට පිවිසීම මගින් Doc990 සේවාව භාවිතා කළ හැකි වේ. එමෙන්ම SLT හැර වෙනත් ඕනෑම ජංගම දුරකථන ජාලයකින් 990 ඇමතීම මගින්ද මෙම සේවාව භාවිතා කළ හැක.
දැනටමත් සෙලාන් ක්රෙඩිට් කාඩ්පත් හිමි පුද්ගලයන්ට මෙම දීමනාව පිළිබඳ වැඩිදුර තොරතුරු 011-200-88-88 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ලබාගත හැකි වේ. සෙලාන් ක්රෙඩිට් කාඩ්පතක් ලබාගැනීමට බලාපොරොත්තු වන ඕනෑම කෙනෙකුට 070 445 6841 අංකයෙන් දුමින්ද හෝ 070 445 6835 අංකයෙන් විදුරංග ඇමතීමෙන් ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැක.
December, 16, 2022
ඇල්ල සංචාරක කලාපය සුවිසල් සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
සංචාරක අමාත්යාංශය, නාගරික සංවර්ධන අමාත්යාංශය සහ පරිසර අමාත්යාංශය එක්ව මාස 4ක් තුළ අදාළ සංවර්ධන සැලැස්ම සකස් කර තමා වෙත භාර දෙන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඇල්ල ව්යාපාරිකයන්ගේ සංගමය සමග අද (16) පෙරවරුවේ ඇල්ල ෆලවර් ගාර්ඩ්න් හෝටලයේ පැවැති සාකච්ඡාවේ දී ය.
සංචාරක ආකර්ශණයට ලක්ව ඇති ඇල්ල සංචාරක කලාපය විධිමත්ව හා නිසි සැලැස්මකට අනුව සංවර්ධනය කිරීමේ අවශ්යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා සංචාරක ආකර්ශනයට බාධා නොවන අයුරින්, සෞන්දර්යාත්මක පරිසරය ආරක්ෂා කර ගනිමින් එහි ඉදිකිරීම් කටයුතු සිදුකිරිමේ වැදගත්කම ද පැහැදිළි කළේය.
පළමු අදියර යටතේ ඇල්ල සංචාරක කලාපය මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ශණීය ගමනාන්තයක් බවට පත් කරන බවත් අනතුරුව සමස්ත ඌව පළාතම සංචාරක ආකර්ශණය දිනාගත් තෝතැන්නක් බවට පත්කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඇල්ල ප්රදේශය වෙත පැමිණ සිටී දෙස්, විදෙස් සංචාරකයන්ගේ සුව දුක් විමසමින් ඔවුන් සමග සුහද කථා බහක නිරත වීමට ද ජනාධිපතිවරයා අමතක නොකළේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ,
ඇල්ල කියන්නේ මේ ප්රදේශයේ ජනතාව එකතුව නිර්මාණය කරගත් සංචාරක කලාපයක්. එය දැන් ශ්රී ලංකාවේ ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දෙනවා. නව සුවිසල් සංවර්ධන සැලැස්මක් අනුව මේ සංචාරක කලාපය දියුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙහි මතුව ඇති ගැටළු සඳහා කෙටි කාලීන විසඳුම් ලබා දීමට අපි කටයුතු කරනවා.
අද මාලදිවයිනට පැමිණෙන සංචාරකයෙක් දිනකට ඩොලර් 500ක් පමණ වියදම් කරනවා . හැබැයි ඇල්ල ප්රදේශයට එන විදෙස් සංචාරකයෙක් දිනකට වියදම් කරන්නේ ඩොලර් විස්සයි. මේ තත්ත්වය අපි වෙනස් කළයුතුයි.
සංචාරක කර්මාන්තයේ ප්රවර්ධනය සඳහා පුහුණු සේවකයන් අවශ්යයි. පසුගිය කොරෝනා වසංගත සමයේ පළපුරුදු සංචාරක සේවකයන් රට අත්හැර ගියා. ඒ අය ඉතා හොඳ අත්දැකීම් තිබෙන සේවකයින්.සංචාරකයින් පැමිණෙන්නේ හොඳ සේවාවක් අපේක්ෂාවෙනුයි. එම සංචාරකයන් වෙනුවෙන් ගුණාත්මක සේවාවක් ලබාදීමට අපට පුහුණු සේවකයින් අවශ්ය වෙනවා.
මේ සුවිසල් සංවර්ධන වැඩසටහන යටතේ විශිෂ්ඨ සංචාරක සේවාවක් ඇතිකිරීමට පියවර ගත යුතුයි. ඒ වගේම ඌව පළාතට එන සංචාරකයින් අවම වශයෙන් දින 07ක්වත් මෙහි රඳවා ගැනීමට හැකිවන පරිදි අපි නව සැලසුම් සකස් කළ යුතුයි.
ඒ වගේම නැගෙනහිර පළාතට පැමිණෙන සංචාරකයින් ඉන් අනතුරුව ඇල්ලට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළවෙළක් සකස් කළ යුතුයි. මත්තල ගුවන්තොටුපල දියුණු කර මත්තලින් මෙරටට පැමිණෙන සංචාරකයින් කෙලින්ම ඇල්ලට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් අපගේ නව සංවර්ධන සැලැස්මට ඇතුළත් විය යුතුයි. මෙම සැලසුම් කෙටිකාලිනව සහ දිගුකාලීනවත් මෙරට ආර්ථිකයේ දියුණුවට බලපානවා.
සංචාරක ක්ෂේත්රය සංවර්ධනය කරනවා වගේම මෙරට බැංකු ක්ෂේත්රය කඩා නොවැටී පවත්වාගෙන යාමටත් අපි කටයුතු කළ යුතුයි. බැංකු පද්ධතිය කඩා වැටුණොත් සංචාරකයන් අපේ රටට එන්නේ නෑ. ඒ නිසා සංචාරක ක්ෂේත්රයත්, බැංකු ක්ෂේත්රයත් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ආණ්ඩුව සතුව තිබෙනවා. අපි එය ඉටු කරනවා. ඒ සඳහා සහාය ලබාදෙන ලෙස මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.
මෙහිදී ඇල්ල ව්යාපාරිකයන් ඉදිරිපත් කළ බොහෝ ගැටළුවලට එම මොහොතේම විසඳුම් ලබා දීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කටයුතු කළ අතර ඒ පිළිබඳ ව්යාපාරික ප්රජාව ජනාධිපතිවරයා වෙත සිය ප්රසාදය පළ කළහ.
අමාත්යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, හරීන් ප්රනාන්දු , රාජ්ය අමාත්ය චාමර සම්පත් දසනායක, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් , බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සුදර්ශන දෙනිපිටිය යන මහත්වරු සහ ඇල්ල ප්රාදේශීය සභාවේ මහජන නියෝජිතයන් ද, ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, බදුල්ල දිස්ත්රික් ලේකම් දමයන්ති පරණගම යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ .
December, 16, 2022
2022 CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ දී 'සමස්ත රන් සම්මානය' දිනා ගැනීමට සමත් වූ DIMO සමාගම එම සම්මාන උලෙළේ දී ම 'විශිෂ්ට ඒකාබද්ධ වාර්තා පහ' සඳහා, 'ඒකාබද්ධ චින්තනය' සඳහා මෙන් ම 2021/2022 වාර්ෂික වාර්තාව සඳහා 'හොඳම සංක්ෂිප්ත ඒකාබද්ධ වාර්තාවට' ද හිමි විශේෂ සම්මාන දිනා ගැනීමට සමත් විය.
'ශ්රී ලංකාව අවස්ථාවන්ගෙන් පිරී ඇත' යන තේමාව මුල් කර ගනිමින් සැකසුණු, DIMO හි 2021/2022 වාර්ෂික වාර්තාව එම සමාගම් සමූහයේ අනාගත සාර්ථකත්වය සඳහා ඇති අවස්ථා ග්රහණය කර ගනිමින් නිර්මාණය වී ඇත.
සමාගමේ ඒකාබද්ධ වාර්තාකරණයේ සාර්ථකත්වය පිළිබඳ ව සිය අදහස් දැක්වූ DIMO අධ්යක්ෂ / ප්රධාන මුල්ය නිලධාරී සුරේෂ් ගුණරත්න මහතා ප්රකාශ කළේ, "මුල්ය වාර්තාකරණයට නවෝත්පාදනයන් ගෙන එන අතරම, ඒකාබද්ධ වාර්තාකරණ මූලධර්මවලට අනුකූලව කටයුතු කිරීමට DIMO කැපවීම, අපට වාර්ෂික වාර්තා වෙනුවෙන් ලබා ගැනීමට හැකි වූ සම්මාන වලින් පිළිබිඹු වෙනවා. එම නිසා ම වගකිව යුතු ආයතනයක් විදියට අපගේ සියලු ම පාර්ශවකරුවන්ගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීමට අපට හැකි වෙලා තිබෙනවා." යනුවෙනි.

December, 15, 2022
ප්රමාණය ඉක්මවා රබර් ආනයනය දැඩි නියාමනයකට ලක් කිරීමත් සමග දේශීය රබර් මිල ස්ථාවර මට්ටමකට පැමිණෙමින් තිබෙන බව මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එසේ ම රබර් ආනයනයේ ශීඝ්ර පහළ යාමක් ද පෙන්නුම් කරන බවයි අමාත්යවරයා පෙන්වා දෙන්නේ. දේශීය රබර් මිල පහත බැසීම සහ අතිරික්ත ආනයනය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ දෙවැනි ප්රගති සමාලෝචන රැස්වීම පිළිබඳ අදහස් දක්වමින් අමාත්යවරයා අද (15) මේ බව කියා සිටියේ ය.
“ඔක්තෝබර් මසයේ දී මෙට්රික් ටොන් 4058ක් වූ රබර් ආනයනය නොවැම්බර් මාසය වෙද්දි 2126ක් බවට පත් වෙනවා. එය 48%ක පහළ යාමක්. නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මස 10 දක්වා කාලය තුළ සමස්ත රබර් ආනයනය ද 77%කින් පහළ ගිහින් තියෙනවා. දෙසැම්බර් 10 දක්වා රබර් ආනයනය දැක්වෙන්නේ මෙට්රික් ටොන් 162ක් ලෙස” යැයි අමාත්යවරයා පැවැසීය.
දේශීය සුළු පරිමාණ රබර් වගාකරුවන් සිය නිෂ්පාදන අලෙවි කර ගත නොහැකි මට්ටමට පත් වීමත් සමග ඊට හේතු සොයා බැලීම සඳහා අදාළ කමිටුව පත් කෙරුණු අතර වැවිලි කර්මාන්ත අමාත්යාංශය, වාණිජ මණ්ඩලය, රබර් සංවර්ධන දෙපාර්තමේන්තු ඇතුළ ආයතන නියෝජනයවල නියෝජිතයන්ගෙන් එම කමිටුව සමන්විත ය.
December, 15, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි කඩා වැටීමක් අද (15) දිනයේ දී වාර්තා විය. ඒ අනුව දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 56.79 කින් හා S&P SL20 දර්ශකය ඒකක 30.84 කින් පහළ යන ලදී. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,813.84 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 2,809.72 ක් ලෙසින් ඒ අනුව වාර්තා වී තිබුණි.
රු. බිලියන 2.27 ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා විය.
මෙහි ඇති විශේෂත්වය වන්නේ රු. මිලියන 608.52 ක විදේශීය මිල දී ගැනීම් දිනය තුළ වාර්තා වී තිබීමයි. එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිලියන 2.45 ක් රු. 210 බැගින් ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවක් ලෙස අද දින හුවමාරු වී තිබුණු අතර විදේශීය මිල දී ගැනීම් වටිනාකම ඉහළ යාමට එමඟින් වැඩි දායකත්වයක් ලැබී තිබුණි.
දිනය තුළ දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.66 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 2.21 ලෙසින් වාර්තා වී තිබේ.
එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි විශාලතම කොටස් හිමියා වන SG HOLDINGS GLOBAL PTE.LTD විසින් එම සමාගමේ කොටස් මිල දී ගැනීම, මෙලෙස විදේශීය මිල දී ගැනීම ඉහළ යාමට හේතුවී තිබේ. ඊයේ (14) දිනයේ දී ද එක්ස්පෝලංකා කොටස් ගනුදෙනු හරහා රු. බිලියන 1.57 ක ශුද්ධ විදේශීය ගලා ඒමක් වාර්තා වී තිබුණි.
මේ අතර අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමට කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, LOLC හෝල්ඩිංග්ස්, බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ වැලිබල් වන යන සමාගම්වල කොටස් මිල පහළ යාම් දැඩි ලෙස බලපා තිබෙන බව කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා පෙන්වා දේ.

December, 15, 2022
වර්තමානයේ සමස්ත මානව සමාජය තුළම වර්ධනය වෙමින් පවත්නා සමාජ ගැටළුවක් ලෙස දරිද්රතාවය හඳුන්වා දිය හැක. මේ උත්සව සමයේ එම ගැටළුව බොහෝ සෙයින් ජනතාව මානසිකව විඩාවට පත්කරනු ඇති බවට සැකයක් නැත. ඒ හේතුවෙන් පීඩාවට පත් පවුල්වල දරු දැරියන්ගේ මානසික තත්වය ඔප් නැංවීම සඳහා ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව කැරිටාස් ශ්රී ලංකා (Caritas Sri Lanka) සමඟ අත්වැල් බැඳගනිමින් සිය ප්රමුඛතම ඩිජිටල් ගෙවීම් app එකක් වන SOLO හරහා ‘Season of Giving’ නමින් වැඩසටහනක් පසුගියදා ආරම්භ කළේය.
මුදල පාදක කර නොගත්, මනුෂ්යත්වය අරමුණු කරගත් සංවිධානයක් මෙන්ම ශ්රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සමාජ හස්තයක් වන කැරිටාස් ශ්රී ලංකා යනු, දිවයින පුරා පිහිටි රදගුරු පදවි 12 ක් පුරා ප්රධාන මානව සංවර්ධන ව්යාපෘති වෙනුවෙන් කටයුතු කරන විශාලතම හා වඩාත්ම ගෞරවනීය මානුෂීය සංවිධානයකි.
මෙම වැඩසටහන දියත් කිරීම සංකේතවත් කිරීම වෙනුවෙන් කැරිටාස් ප්රධාන කාර්යාලයේදී පැවති විශේෂ උත්සවය කොළඹ සහයක රදගුරු දේව ධර්මාචාර්ය අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් සහ HNB ප්රධාන මෙහෙයුම් නිලධාරී, දිල්ශාන් රොද්රිගෝ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණු අතර කැරිටාස් ශ්රී ලංකා හි ජාතික අධ්යක්ෂ, ගරු ලූක් නෙල්සන් පෙරේරා පියතුමා සහ HNB නියෝජ්ය සාමාන්යාධිකාරී, ඩිජිටල් ව්යාපාර, චම්මික වීරසිංහ මහතා ඇතුළු HNB ජ්යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එයට සහභාගී විය.
ශ්රී ලංකාවේ පවතින වත්මන් සමාජීය විපර්යාස හේතුවෙන් ජනතාව සාමාන්ය ආහාර වේල මගහරිමින් මාස ගණනාවක් තිස්සේ ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟකමින් පීඩා විඳිමින් සිටී. දරුවන් කුසගින්නෙන් නින්දට යන අතර එය ඔවුන්ගේ සෞඛ්යට අහිතකර ලෙස බලපායි. ළමා කාලය විශේෂ වන අතර සියුම් රැකවරණය සහ උපකාර සඳහා හිමිකම් ලැබිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්රකාශ කර ඇත. මේ රටේ අනාගතය ගොඩනගන්නට වෙර දරන දරු පරපුරක් වශයෙන් සෞඛ්ය සම්පන්නව සහ අනාගතය පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටීමට දරුවන්ට අවශ්ය රැකවරණය සහ උපකාර ලබා දිය යුතුය. මෙම ව්යාපෘතියේ පරමාර්ථය වන්නේ දරුවන් ශ්රී ලංකාවේ සියලූම ප්රජාවන්ගේ ජීවනාලිය බව හඳුනා ගෙන ඔවුන්ගේ පෞරුෂය සම්පූර්ණයෙන් සහ සුහදව වර්ධනය කරගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දීම සහ ඔවුන් නිරෝගී පවුල් පරිසරයක් තුළ සතුට, ආදරය හා අවබෝධය ඇති වාතාවරණයක් තුළ වර්ධනය වීමට උපකාර කිරීමයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ප්රධාන මෙහෙයුම් නිලධාරී, දිල්ශාන් රොද්රිගෝ මහතා පැවසුවේ ”වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්රී ලංකාවේ නිසි ආහාර වේලක් ගැනීමට නොහැකි මෙන්ම සනීපාරක්ෂක සහ නවාතැන් පහසුකම් නොමැති අසරණ තත්වයට පත් වූ පවුල් සංඛ්යාව වැඩි වී තිබෙනවා. දත්ත මගින් පෙන්වා දී ඇත්තේ දිනකට මිලියන 4.8 ක් පමණ ළමුන්ට මෙම මූලික පහසුකම් සඳහා ප්රවේශ වීමට පවා නොහැකි වී ඇති බවයි. මෙම සෑම දරුවෙකුටම අවම මූලික පහසුකම් සඳහා මුදල් හෝ පහසුකම් නොහැකි වීම නිසා ඒ සඳහා උපකාර කළ හැකි දරුවන්ට අවශ්ය පහසුකම් සැපයීමට අප කැරිටාස් ශ්රී ලංකා සමඟින් අත්වැල් බැඳ ගත්තා. මෙම උත්සව සමයේදී අවශ්යතා ඇති අය සඳහා පහසුකම් ලබා දීමට මෙම සත්කාරය සමඟ බොහෝ දෙනෙක් එක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා” යනුවෙනි.
HNB SOLO හරහා සිදු කළ සියලූම පරිත්යාග සහ ගනුදෙනුකාරභවතුන් විසින් සිදු කරන ලද සෑම ගනුදෙනුවක් සඳහාම බැංකුව විසින් අමතර පරිත්යාගයක් ද කැරිටාස් ශ්රී ලංකා ගිණුම වෙත සෘජුවම යවනු ලැබේ. එපමණක් නොව, HNB SOLO app එකේ ඇති Direct Pay විකල්පය හරහා එම ආයතනය වෙත සෘජුවම පරිත්යාගයන් සිදු කිරීමට ද බැංකුව පහසුකම් සලසා දී තිබේ.
තවදුරටත් අරමුණ පැහැදිලි කරමින් ‘‘නත්තල යනු දීමේ සහ බෙදාහදා ගැනීමේ කාලයයි. ඔබේ පරිත්යාගවල සහාය ඇතිව, දරිද්රතාවයෙන් තොර අනාගතයක් නිර්මාණය කිරීමට දරුවන්ට අවශ්ය වන්නේ හොඳ අධ්යාපනයක්. බොහෝ දරුවන්ට නැවත පාසලට යාමේ ඔවුන්ගේ උනන්දුව නැති වී තිබෙනවා. නමුත් ඔබගේ උපකාරයෙන් ඔවුන්ගේ ජීවිතවල සහ ඔවුන්ගේ ප්රජාවන් අතර අලූත් වෙනසක් ඇති කිරීමට අවශ්ය කරන අධ්යාපනය ලබා දීමට අපට ඔවුන්ට උපකාර කළ හැකියි. ඔබ පරිත්යාගයක් කිරීමේදී එයින් ඔවුන්ගේ අනාගතය වෙනස් කරනවා පමණක් නොව, ඔවුන් මුහුණ දෙන දුෂ්කරතාවලින් ඔබ්බට බැලීමට ඔවුන්ට උපකාර කරනවා. කිසිවෙකු දුප්පත්ව ඉපදෙන්නේ නෑ. එනිසා අප සැමට එක්ව දරිද්රතාවය නැති කළ හැකියි’’ යනුවෙන් කැරිටාස් ශ්රී ලංකා හි ජාතික අධ්යක්ෂ, ගරු ලූක් නෙල්සන් පෙරේරා පියතුමා පැවසුවේය.
මනුෂ්යත්වය පෙරටු කරගත් HNB බැංකුව පසුගිය වසරේදී ද හෙල්ප්ඒජ් ශ්රී ලංකා සමාගම සමඟින් එක්ව මීට සමාන වැඩසටහනක් දියත් කළේය.



Image Caption - HNB ප්රධාන මෙහෙයුම් නිලධාරී ඩිල්ෂාන් රොද්රිගෝ මහතා සහ කැරිටාස් ශ්රී ලංකා ජාතික අධ්යක්ෂ ගරු ලූක් නෙල්සන් පෙරේරා පියතුමා අදාල අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගනිමින්. කොළඹ සහයක රදගුරු දේව ධර්මාචාර්ය අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් සහ HNB නියෝජ්ය සාමාන්යාධිකාරී, ඩිජිටල් ව්යාපාර, චම්මික වීරසිංහ මහතා ද ඡායාරූපයේ වෙයි.
December, 15, 2022
සිමෙන්ති කොට්ටයක මිල තවත් රුපියල් 1,000 කින් අඩු කළ හැකි බව ශ්රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි මහතා පවසයි.
අද (15) පැවති මාධ්ය හමුවකදී ඔහු මේ බව පවසා සිටියේය.
ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ දේශීය සමාගම් සිමෙන්ති කොට්ටයක මිල රු. 225කින් අඩු කිරීමත් සමඟ ආනයනකරුවන්ද සිමෙන්ති මිල පහළ දැමීමට කටයුතු කළ යුතු බවයි.
"මේ සිමෙන්ති මිල මේ තරම් දුරට ගෙනියන්න රුපියල් 3,200 දක්වා ඉහළකට ගෙනියන්න මේ රටේ සිමෙන්ති මිලේ මාෆියාව කවුද, ආනයනකරුවන්. මොනතරම් සංවාද විසංවාද ඇති වෙලා තියනව ද, මේ සිමෙන්ති මිල අඩු කරන්න කියලා. දැන් මොක ද කියන්නේ. මේ වෙනකොට රුපියල් 3,200ට තිබුන සිමෙන්ති කොට්ටය රුපියල් 2700 දක්වා අඩු වෙලා තියනවා. මේක මාෆියාවක් නෙවෙයි ද? අද මම අහනවා මේ සිමෙන්ති මිල අඩු වෙන්න රුපියල සම වෙලා ද, ඩොලර් එක අඩු වෙලා ද, TAX එක අඩු වෙලා ද, සමාජ ආරක්ෂණ බද්ද ඔබට නැද්ද, තව රුපියල් 1,000කින් සිමෙන්ති මිල අඩු කරන්න පුළුවන්."
Video Story