• Ada Derana BIZ Sinhala
  • bond issue
  • Central Bank
  • sri lanka

බැඳුම්කර නිකුතුවකින් මහ බැංකුව රු. බිලියන 127 ක් ලබාගනී

September, 29, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (29) දින කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රු. බිලියන 127.31 මුදලක් සම්පාදනය කර ගෙන තිබේ.

වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන ලද බැඳුම්කරවල මුළු වටිනාකම රු. බිලියන 145 කි.

2025,2028 හා 2032 වසරවල දී කල්පිරෙන ආකාරයෙන් කාණ්ඩ 3 ක් යටතේ මෙම බැඳුම්කර නිකුතුව සිදුකරනු ලැබූ අතර එහිදී පිළිවෙලින් එක් එක් කාණ්ඩයට අදාළව පිළිවෙලින් රු. බිලියන 25.50 ක්, රු. බිලියන 31.80 ක් හා රු. බිලියන 70.00 ක් ලෙසින් ලංසු පිළිගෙන ඇත.

මෙම වෙන්දේසියේ දී ඉහත කී එක් එක් කාණ්ඩය සඳහා වූ බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් පිළිවෙලින් 30.95% ක්, 31.50% ක් හා 30.09% ක් ලෙසින් වාර්තා වේ.

මේ පිළිබඳ පූර්ණ සටහනක් පහතින් දැක්වේ.

  • Ada Derana BIZ Sinhala
  • cash waste
  • Central Bank
  • sri lanka

මුදල් අපද්‍රව්‍ය බැහැර කිරීමට මහ බැංකුව සුදුසු විසඳුමක් සොයයි

September, 29, 2022

ඉරා දැමූ මුදල් නෝට්ටු අංශු/ බ්‍රිකට් (මුදල් අපද්‍රව්‍ය) ප්‍රතිචක්‍රීකරණය කිරීමට/ බැහැර කිරීමට සුදුසු විසඳුමක් සොයා බැලීම සඳහා අභිලාෂය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඇරයුම් කර සිටී.

මේ පිළිබඳ වැඩි විස්තර පහතින් දැක්වේ.

 

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • issue
  • massive bond
  • sri lanka

මහ බැංකුව දැවැන්ත බැඳුම්කර නිකුතුවකට සැරසෙයි

September, 28, 2022

ශ්‍රී ලංකා මහ බැංකුව හෙට (29) දිනයේ දී රු. මිලියන 145,000 ක දැවැන්ත භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදුකරනු ලබන බව නිවේදනය කර සිටී.

2025, 2028 හා 2032 වසරවල දී කල්පිරෙන ආකාරයෙන් කාණ්ඩ 3ක් යටතේ මෙම බැඳුම්කර නිකුතුව සිදුකිරීමට නියමිත අතර මේ සඳහා පිළිවෙලින් රු. මිලියන 40,000ක්, රු. මිලියන 35,000 ක් හා රු. මිලියන 70,000 ක් බැගින් වන බැඳුම්කර, වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සඳහා ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බවත්, ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර වෙළෙඳපොළ තත්ත්වයන් මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් එක් කාණ්ඩය යටතේ වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණයකට නොවැඩි ඕනෑම ප්‍රමාණයක් පිළිගනු ලැබිය හැකි බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka

වැදගත් තීරණයක් සතියකට කලින් ගැනීමට මහ බැංකුව තීරණය කරයි

September, 22, 2022

2022 ඔක්තෝබර් මස 13 වැනි දින දැනුම් දීමට නියමිතව තිබූ 2022 අංක 07 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය 2022 ඔක්තෝබර් 06 වැනි දින පෙරවරු 7.30ට දැනුම් දෙනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව 2022 ඔක්තෝබර් 12 වැනි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය රැස්වී අදාළ මුදල් ප්‍රතිපත්ති තීරණය ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම දරන ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව වන අතර, ප්‍රධාන වශයෙන් ආර්ථිකයේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තීරණය කිරීම සහ ද්‍රවශීලතාව කළමනාකරණය කිරීම මහ බැංකුව විසින් සිදු කරනු ලැබේ.

ආර්ථිකයේ පවත්නා පොලී අනුපාතික මත ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මෙහෙයුම් කටයුතු බලපෑම් කරනු ලබන අතර ම, එය ණයගැතියන් හා ණයහිමියන්ගේ හැසිරීම, ආර්ථික ක්‍රියාකාරකම් සහ අවසාන වශයෙන් උද්ධමන අනුපාතිකය මත බලපෑම් ඇති කරනු ලබයි.

ඒ අනුව, උද්ධමනය පාලනය කිරීම සහ උද්ධමනය අපේක්ෂිත මට්ටමක පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය භාවිත කරනු ලැබේ.

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • dollar
  • sri lanka

මහ බැංකුවේ ඩොලර් සංචිතය පහළට

September, 8, 2022

2022 අගොස්තු මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,716 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

මෙය 2022 ජූලි මාසයේ දී සඳහන් වූ නිල සංචිත වත්කම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,817 ට වඩා 5.6% ක පහළ යාමක් වේ.

මේ අතර මෙම නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2022 ජූලි මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 1,709 සිට අගෝස්තු මාසයේ දී ඩොලර් මිලියන 1,619 ක් දක්වා අඩු වී ඇත. එය 5.3% ක අඩු වීමකි.

  • Ada Derana BIZ Sinhala
  • bank
  • Central Bank
  • sri lanka

මහ බැංකුවෙන් බැංකුවලට විශේෂ දැනුම් දීමක්

September, 2, 2022

තොරතුරු කළමනාකරණ ක්‍රියාවලියේ අනුකූලත්වය සහ අඛණ්ඩතාව ශක්තිමත් කිරීමේ අරමුණින්, බලපත්‍රලාභී බැංකු විසින් සිය තැන්පත්කරුවන්ගේ අනන්‍ය හඳුනාගැනීමේ අංක (Unique Identification Numbers - UINs) අදාළ බැංකු පද්ධතිවල සටහන් කිරීම අනිවාර්ය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදාළ මාර්ගෝපදේශ ඇතුළත් නිවේදනයක් පසුගිය (29) දා මහ බැංකුව විසින් සියලු වානිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත නිකුත් කර ඇත.

2022 ඔක්තෝබර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි සියලු නව තැන්පතුකරුවන්ට අදාළව මෙම මාර්ගෝපදේශ අනුකූල වන අතර දැනට සිටින තැන්පතුකරුවන් 2022 දෙසැම්බර් 31 දින වන විට පද්ධතිය තුළට ඇතුළත් කළ යුතුවේ.

අදාළ සම්පූර්ණ නිර්දේශය පහතින් දැක්වේ.

 

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka

ආර්ථිකය ස්ථාවර කිරීමට ආර්ථික සංවර්ධන වේගය ධන මට්ටමකට ගෙන ඒම සහ උද්ධමනය පාලනය කිරීම සිදු කළ යුතුයි – මහ බැංකු අධිපති

September, 2, 2022

  • අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණ ජාල සඳහා මුදල් වෙන් කළ යුතුයි.
  • ආනයනය සීමා කොට ඛණිජ තෙල්, බෙහෙත් සහ ගෑස් වැනි අත්‍යාවශ්‍ය දේ මිලදීගැනීම සිදු කළ යුතුයි.
  • 14/15 % මට්ටමකට රාජ්‍ය ආදායම වැඩි කළ යුතුයි.
  • ආර්ථික අර්බුදය නිසා ඇතිවන අපහසුතාව අඩු ආදායම් ලබන පාර්ශ්වවලට පමණක් නොව වැඩි ආදායම් ලබන පාර්ශ්ව අතරද බෙදා හැරීම කළ යුතුයි.

ආර්ථික අර්බුදයකදී ප්‍රථමයෙන්ම ආරක්ෂාකරගත යුතු වන්නේ අඩු ආදායම්ලාභීන් බවත් එම නිසා ඔවුන් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණ ජාල සඳහා මුදල් වෙන් කළ යුතු බවත් මහබැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

අඩු ආදායම්ලාභීන් ඇතිවන ආර්ථික අපහසුතා වැඩි වුවහොත් දුප්පත් මිනිසුන් පාරට බැසීම සිදු විය හැකි බවත් ඒ නිසා කලබලකාරී තත්ත්වයන් රට තුළ ඇති විය හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේ ය. එබැවින් වැඩි ආදායම් ලබන සහ අඩු ආදායම් ලබන දෙපාර්ශ්වය අතරම ඇතිවන ආර්ථික අපහසුතාව බෙදී යෑමට සැලැස්වීම මගින් අඩු ආදායම් ලබන පාර්ශ්වවල අසහනය පාලනය කරමින් ආර්ථිකය ස්ථාවර කළ යුතු බව හෙතෙම වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

එසේම ණය ලබාගැනීම පාලනය කොට රාජ්‍ය ආදායම වැඩිකරගැනීමේ අවශ්‍යතාවද ඒ මහතා පෙන්වා දුන්නේ ය. මෙහිදී වර්තමානයේ ඇති වී තිබෙන උද්ධමනය පාලනය කොට අපනයන ආදායම වැඩිකර ගැනීම සිදු කළ යුතු බව ද පැවසූ ඒ මහතා රාජ්‍ය ආදායම සහ රාජ්‍ය වියදම කළමනාකරණය කර ගැනීම වැදගත් බව අවධාරණය කළේය.

මෙහිදී ආනයනය සීමාකිරීම මගින් පසුගිය වසරේ බිලියන 2 පමණ වූ වියදම මෙම වසරේ 1.3කට අඩු කරගැනීමට හැකි වූ බව පෙන්වා දුන් වීරසිංහ මහතා ඒ මගින් බෙහෙත්, ඛණිජ තෙල් සහ ගෑස් වැනි අත්‍යාවශ්‍ය දේ මිලදී ගැනීමට හැකි වූ බව පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම වර්තමාන රාජ්‍ය ආදායම බිලියන 1.2 පමණ වන බවත් තවදුරටත් අත්‍යාවශ්‍ය නොවන දෑ ආනයනය සීමාකිරීම මගින් රාජ්‍ය වියදම පාලනය කිරීමට හැකි නම් එය රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් වැදගත් වන බවත් හෙතෙම පැහැදිලි කළේය.

තවද මෙම අර්බුදය විසදීම මාසයෙන් දෙකෙන් කළ නොහැකි දෙයක් බවත් අඩුම මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා වත් මෙම අපහසුතාවන් දරාගැනීමට සුදු වන බව තමා විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එසේම මෙම අර්බුදය මගහරවා ගැනීමට රාජ්‍ය ආදායම 14/15% ක මට්ටමකට වත් වැඩි කළ යුතු බව ද නන්දලාල් වීරසිංහ මහතා පැහැදිලි කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ “ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි දැක්ම” යන මැයෙන් පසුගිය (31) දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සංවාදමය කථිකාවට සහභාගී වෙමිනි.

පාර්ලිමේන්තු විවාදයන්හිදී, මූල්‍යමය කාරණා සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ක්‍රියාකාරි සහභාගිත්වය තහවුරු කිරීම සහ රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි ආර්ථික මඟ පිළිබඳ ඵලදායී කථිකාවක් ඇති කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් සංවිධානය කර තිබිණි.

මෙම සංවාදමය කථිකාවට පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුලු මැති ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් රැසක් සහභාගීවූහ.

එමෙන්ම, පාර්ලිමේන්තුවේ මහලේකම් ධර්මික දසනායක, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • LankaRemit
  • Mobile App
  • sri lanaka

LankaRemit ජංගම යෙදුම ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ අත්වැල් බැඳගනී

August, 27, 2022

LankaRemit නමින් හඳුන්වනු ලබන ජාතික ප්‍රේෂණ ජංගම යෙදුම (Mobile App) විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අතර ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් එහි විශේෂාංගයන් හඳුන්වා දීමේ උත්සවයක් 2022 අගෝස්තු 26 වන දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි. LankaRemit ජංගම යෙදුම, විදෙස්ගත ශ්‍රමිකයන්හට ශ්‍රී ලංකාව වෙත වේගවත්ව, ආරක්ෂිතව සහ වඩාත් පහසුවෙන් ප්‍රේෂණ එවීම සඳහා ප්‍රවේශයක් ලබා දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකාක්ලියර් (පුද්ගලික) ආයතනයෙහි සහයෝගීතාවයෙන් LankaRemit ජංගම යෙදුම හඳුන්වා දුන් අතර එහි පළමු අදියර 2022 පෙබරවාරි මාසයේදී දියත් කරන ලදී. විදේශ කටයුතු අමාත්‍යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැනි පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ඇතිව LankaRemit ජංගම යෙදුම පිළිබඳව දේශීයව සහ ජාත්‍යන්තරව දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටියි.

LankaRemit ජංගම යෙදුම හරහා ශ්‍රී ලංකාවේ ප්‍රතිලාභීන් වෙත මුදල් එවීමට විදේශ ශ්‍රමිකයන් හට හැකි වන අතර විදේශයන්හි නිකුත් කරන ලද විද්‍යුත් අරමුදල් හුවමාරු කාඩ්පත් (Electronic Fund Transfer Cards) භාවිතාකිරීමෙන් විදුලිබිල් පත් හා ජලබිල්පත් ආදී උපයෝගීතා බිල්පත් ගෙවීමට ද හැකි වේ. LankaRemit ජංගම යෙදුම මගින් එය භාවිතා කරන්නන් හට අගය එකතු කළ සේවාවන් රැසක් ද සපයනු ලබයි. එ් අනුව තමාට ආසන්නතම ලියාපදිංචි මුදල් හුවමාරු සේවා සපයන්නන් සහ එම මුදල් හුවමාරු කාර්යාල පිහිටා ඇති ස්ථාන පිළිබඳ තොරතුරු සොයා ගැනීමටද LankaRemit ජංගම යෙදුම හරහා හැකි වේ. තවද, විදේශයන්හි මුදල් හුවමාරු සේවා සපයන්නන් හරහා ප්‍රේෂණ සිදු කළ පසු, මෙම ජංගම යෙදුම භාවිතා කරන පරිශීලකයාට ශ්‍රී ලංකාවේ ප්‍රතිලාභීන් වෙත කරන ලද සෑම ප්‍රේෂණයක්ම මුදල් හුවමාරු ක්‍රියාවලිය තුල කුමන අදියරේ පවතී ද යන්න සෙවුම් අංකයක් (tracking number) භාවිතයෙන් මෙම යෙදුම හරහා නිරීක්ෂණය කළ හැකිය. ශ්‍රී ලංකා රජය හෝ අදාළ ආයතන විසින් රට තුලට මුදල් ප්‍රේෂණ කරන ශ්‍රී ලාංකිකයන් සඳහා ප්‍රතිලාභ යෝජනා ක්‍රම අනාගතයේදී හඳුන්වා දෙන්නේ නම්, එවැනි ප්‍රතිලාභ යෝජනා ක්‍රම වෙත ප්‍රවේශ වීමට ද LankaRemit ජංගම යෙදුම භාවිතා කළ හැකි වනු ඇත.

LankaRemit ජංගම යෙදුම Google Play Store, Apple App Store සහ Huawei AppGallery වෙතින් ඕනෑම රටක සිට ශ්‍රී ලංකාවට මුදල් එවන ඕනෑම අයෙකුට බාගත (download) කල හැකිය. LankaRemit ජංගම යෙදුම හා සම්බන්ධවී සිටින මුදල් ප්‍රේෂණ සේවා සපයන්නන් අඛණ්ඩව වැඩිවෙමින් පවතින අතර, ශ්‍රී ලංකාවට මුදල් ප්‍රේෂණය කිරීමට පහසුකම් සැලසීම සඳහා නුදුරු අනාගතයේ දී ගෝලීය මුදල් හුවමාරු සේවා සපයන්නන් සහ ගෝලීය මූල්‍ය නවෝත්පාදකයන් (FinTechs) ඇතුළු මූල්‍ය සේවා අංශයේ තවත් සේවා සපයන්නන් මෙම යෙදුම සමඟ සම්බන්ධ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විදේශ රැකියා සඳහා පිටත් වීමට සුදානම් වන ශ්‍රමිකයින් වෙත LankaRemit ජංගම යෙදුම තුළින් ලැබෙන පහසුකම් සහ ප්‍රතිලාභ හඳුන්වා දීමට මෙම උත්සවයේදී ප්‍රමුඛත්වය ලබා දෙන ලදී. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අමාත්‍යතුමා ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ වෙනුවට එහි උපසභාපති ඒ. ඒ. එම්. හිල්මි යන මහත්වරුන් මෙන්ම රාජ්‍ය ආයතන, මූල්‍ය ආයතන සහ ගෙවීම් සේවා සපයන ආයතන කිහිපයක ප්‍රධානීන් ද මෙම උත්සවයට සහභාගි විය. ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයන් අතර LankaRemit ජංගම යෙදුම ප්‍රචලිත කිරීම සහ ඒ සඳහා අනුගතවීම ඉහළ නැංවීම මෙන්ම ශ්‍රී ලංකාව වෙත විදේශ ප්‍රේෂණ එවීමේදී විධිමත් ක්‍රමවේද මගින් රටතුළට මුදල් එවීමට ඇති මාර්ග භාවිතය දිරිමත් කිරීමද මෙමගින් අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලාංක මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා උත්සව සභාව අමතමින්

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු. මනූෂ නානායක්කාර මහතා උත්සව සභාව අමතමින්

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • Export Receipts/Proceeds
  • sri lanaka

සේවා අපනයන ඉපැයීම් රුපියල් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව ඉවතට

August, 16, 2022

සේවා අපනයනකරුවන්ගේ අපනයන ඉපැයීම් රට තුළට ගෙන ඒම සඳහා ඔවුන් ව දිරිමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද 2022 අගෝස්තු 12 වන දින සිට හෝ ඉන් පසු ව ශ්‍රී ලංකාව වෙත ලැබෙන සේවා අපනයන ලැබීම්/ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව ඉවත් කර ඇත. සේවා අපනයනකරුවන් ශ්‍රී ලංකාව වෙත රැගෙන එන ඔවුන්ගේ අපනයන ඉපැයීම් අවසරලත් කාර්යයන් සඳහා භාවිත කළ හැකිය. සේවාව ලබාදුන් දින සිට දින 180 ක්  ඇතුළත සේවා අපනයන ඉපැයීම් රට තුළට ලබා ගැනීමේ අනිවාර්ය අවශ්‍යතාව නො වෙනස්ව පවතී.  

බැංකු විසින් වාර්තා කරනු ලබන තොරතුරුවලට අනුව, 2022 වසරේ පළමු මාස 6 තුළ දී සේවා අපනයන ලැබීම් ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 1,533ක ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති අතර ඉන් එක්සත් ජනපද ඩොලර් මිලියන 406ක් ශ්‍රී ලංකා  රුපියල් බවට පරිවර්තනය කර ඇත. 2022 මාර්තු මාසයේ දී, ඉහළ ම මාසික සේවා අපනයන ඉපැයීම් වන එක්සත් ජනපද ඩොලර් මිලියන 324ක මුදලක් ලැබී තිබුණි. සේවා අපනයනකරුවන්ගේ නියෝජිතයින් සමඟ පැවැත්වූ  සාකච්ඡාවල දී ඔවුන් විසින් අපනයන ලැබීම් තවදුරටත් ඉහළ නැංවීමේ හැකියාව ඉස්මතු කරන ලදී.

අපනයන ඉපැයීම් දින 180ක් තුළ දී ගෙන ඒමේ අනිවාර්ය අවශ්‍යතාව වෙත අවධානය යොමු කරමින්, සියලු ම අපනයන ඉපැයීම් මෙම අවශ්‍ය මොහොතේ රටට ගෙන්වා ගැනීමට සියලු ම අපනයනකරුවන් දිරිමත් කරනු ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපනයනකරුවන් සහ අවසරලත් වෙළෙඳුන් විසින් අදාළ අවශ්‍යතාව සමඟ අනුකූල වීම අධීක්ෂණය කිරීමේ කටයුතු තීව්‍ර කර ඇත.

ඉහත සඳහන් ලිහිල් කිරීම සම්බන්ධ වැඩිදුර විස්තර, www.dfe.lk හරහා 2022 අගෝස්තු 12 දිනැති අංක 2292/50 දරන ගැසට් (ඇති විශේෂ) නිවේදනයේ පළකර ඇති  "2022 අංක 02 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ රීති" වෙත යොමු වීමෙන් ලබා ගත හැකි ය.

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanaka

පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුව ස්ථාපනය කරයි

August, 13, 2022

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ සිය සබඳතාව පුළුල් කිරීමේ අරමුණින් මහ බැංකුවේ මෙතෙක් ක්‍රියාත්මක වූ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව සහ මූල්‍ය පද්ධති ස්ථායීතා උපදේශන කමිටුව ප්‍රතිස්ථාපනය කරමින් පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුව ස්ථාපිත කරන ලදී. පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුවේ සභාපතිත්වය කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා විසින් දරනු ලබන අතර පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ පහත සඳහන් ප්‍රවීණයන් 17 දෙනා එහි සාමාජිකත්වය දරයි.

  • ආශික් එම් අලී මහතා, සභාපති, මෘදුකාංග සේවා සමාගම් සඳහා ශ්‍රී ලංකා සංගමය
  • කපිල පී ආරියරත්න මහතා, සභාපති, ශ්‍රී ලංකා බැංකු සංගමය
  • සංජය බණ්ඩාර මහතා, සභාපති, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය
  • දමිතා කූක් මහත්මිය, ප්‍රධාන මූල්‍ය නිලධාරී, ස්ටැසන් සමාගම් සමූහය
  • ආචාර්ය ප්‍රියංග දුනුසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආර්ථික විද්‍යා අංශය, කොළඹ
  • ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, සභාපති, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
  • මුර්තසා ජෙෆෙර්ජි මහතා, සභාපති, ඇඩ්වොකාටා ආයතනය
  • ක්‍රිස්ටෝපර් ජෝෂුවා මහතා, කළමණාකාර අධ්‍යක්ෂ, ඇක්සස් එන්ජිනියරින් පීඑල්සී
  • රොහාන් මාසකෝරාල මහතා, නිර්මාතෘ, ශිපර්ස් ඇකඩමි කලම්බෝ පුද්ගලික සමාගම
  • රෙයාස් මිහුලර් මහතා, විධායක නොවන සභාපති, බයිරහ ෆාම්ස් පීඑල්සී
  • අෂ්රොෆ් ඕමාර් මහතා, ප්‍රධාන විධායක නිලධාරී, බ්‍රැන්ඩික්ස් ලංකා සමාගම
  • ලක්ෂමන් සිල්වා මහතා, හිටපු ප්‍රධාන විධායක නිලධාරී, ඩීඑෆ්සීසී බෑන්ක් පීඑල්සී
  • රොහාන් තෙන්නකෝන් මහතා, සභාපති, ශ්‍රී ලංකා මූල්‍ය සමාගම් සංගමය
  • රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා, හිටපු සභාපති, ලංකා වාණිය මණ්ඩලය
  • මාහාචාර්ය ලක්ෂමන් ආර් වටවල, සභාපති, ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය
  • ආචාර්ය ගනේෂන් විග්නරාජා, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ සහායක
  • අනුෂ්ක විජේසිංහ මහතා, අර්ථශාස්ත්‍රඥ සහ සම නිර්මාතෘ, සෙන්ටර් ෆො(ර්) අ ස්මාර්ට් ෆියුචර්.

විශේෂයෙන්ම, ආර්ථිකයේ මුදල් සහ මූල්‍ය අංශවල සමස්ත ආර්ථික වර්ධනයන්  සැලකිල්ලට ගනිමින්, ආර්ථික තත්ත්වයන් සහ ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳව පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රෙය් අදහස් හා අපේක්ෂා ඉදිරිපත් කිරීම මෙම ඉහළ මට්ටමේ උපදේශන කමිටුවේ මූලික කාර්යභාරය වේ. එසේම, ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කරනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග පිළිබඳ ආර්ථිකයේ පාර්ෂවකරුවන්ගේ දැක්ම අනුව අදහස් දැක්වීම පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්ව කමිටුව වෙතින් අපේක්ෂා කෙරෙන අතර එමගින් වඩාත් උපදේශනාත්මක ආකාරයකින් දැනුම්වත් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබෙනු ඇත.

පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්ව කමිටුවේ සමාරම්භක රැස්වීම 2022 අගෝස්තු 10 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගේ සහ ජ්‍යෙෂ්ඨ මහ බැංකු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මහ බැංකු පරීශ්‍රයේ්දී පැවැත්විය‍.