• Ada Derana BIZ Sinhala
  • Banking
  • Committee
  • Financial
  • sri lanka

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු මෙන්න

December, 9, 2022

පසුගිය දෙසැ. 06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද සාමාජික මන්ත්‍රීවරුන්ගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඊයේ (08) දින පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදි.

ඒ අනුව ශෙහාන් සේමසිංහ, අනුප පස්කුවල්, චමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, සම්පත් අතුකෝරල, සංජීව එදිරිමාන්න, කරුණාදාස කොඩිතුවක්කු, කෝකිලා ගුණවර්ධන, මුදිතා ප්‍රිශාන්ති සහ යදාමිණී ගුණවර්ධන යන මහත්ම මහත්මීන්ගේ නම් මෙසේ කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

  • Ada Derana BIZ Sinhala
  • Amendment
  • Committee
  • Inland Revenue
  • Public Finance
  • sri lanka

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අවධානයට

December, 1, 2022

පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට නියමිත දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට අනුව අපනයන බදු වැඩිකිරීම සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නියෝග කළේය.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත, රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී පසුගිය (28) දා සලකා බැලූ අවස්ථාවේදී කමිටු සභාපතිවරයා විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.

දැනට පවතින අපනයන භාණ්ඩ සදහා අයකරන 14% ක බද්ද 30% දක්වා වැඩි කිරීමේදී එමගින් අපේක්ෂිත ආදායම කොපමණද යන්න එක් එක් අංශවලට අදාළ ව වෙන වෙනම දක්වන ලෙස ද කාරක සභාව මුදල් අමාත්‍යාංශයට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

එසේම මීට පෙර පැවැති බදු ප්‍රතිශතයන් යටතේ ඒ ඒ අපනයන අංශ යටතේ ලබා ගත් ආදායම කොපමණද යන්න පිළිබදවද සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මෙහිදී කමිටු සභාපතිවරයා දැනුම් දුන්නේය.

අපනයන බදු ඉහළ නංවා රජයේ ආදායම වැඩි කර ගැනීම සදහා කෙටි කාලීනව දරන උත්සහය වෙනුවට දුර දිග බලා ක්‍රියා කළ යුතු බවත්, මෙරටට ඩොලර් රැගෙන එන අපනයනකරුවන් අධෛර්මත් නොවන ලෙස අපනයන බදු අය කර ගැනීම සිදු කළ යුතු බවත් කමිටුව පෙන්වා දුන්නේය. එබැවින් මෙම අපනයන බදු ප්‍රතිශත පහත හෙළීම පිළිබදව පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී හෝ සළකා බැලීම කළයුතු බව ද කමිටු සභාපතිවරයා මෙහිදී පැවසීය.

එසේම යෝජිත පුද්ගල ආදායම් බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් කලාපීය අනෙකුත් රටවල පවතින තත්ත්වයන් සමග සංසන්දනාත්මකව වි‍ශ්ලේශනයක් ඉදිරිපත් කරන ලෙස කමිටුව නිලධාරීන්ට දැනුම් දුන්නේය.

මේ අනුව උක්ත නි‍ර්දේශවලට යටත්ව දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

කැසිනෝ නියාමනයට අදාළ වෙනම ආයතනයක් නොතිබීම සම්බන්ධවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. මේ වන විට කැසිනෝ ව්‍යාපාරය සදහා අවශ්‍ය නෛතික විධිවිධාන සැපයීමට 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත පැවතියද අදාළ ආදායම් අයකරගැනීම ඇතුළු නියාමන කටයුතු සදහා එය ප්‍රමාණවත් නොවන බවත් ඒ අනුව නෛතික සංශෝධන මගින් වෙනම නියාමන අධිකාරියක් පිහිටවිය යුතු බවත් කමිටුව පෙන්වා දුන්නේය. මේ අනුව මේ සම්බන්ධයෙන් පෙර දැනුම්දුන් පරිදි ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලෙසද මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට කමිටුව දැනුම් දුන්නේය.

අමාත්‍ය නලින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සුරේන් රාඝවන්, සීතා අරඹේපොල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, එම්. ඒ සුමන්තිරන්, චන්දිම වීරක්කොඩි, මයන්ත දිසානායක, මධුර විතානගේ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • Ada Derana BIZ Sinhala
  • Committee
  • large scale projects
  • sri lanka

මහා පරිමාණ ව්‍යාපෘතිවල සුමට ක්‍රියාකාරීත්වයට කමිටුවක්

September, 6, 2022

රේඛීය අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කරනු ලබන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල 2022 වර්ෂයේ දෙවන කාර්තුව අවසානය දක්වා වන සම්මුතික භෞතික ප්‍රගතිය හා එම ව්‍යාපෘති සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද වාර්තාව අනුව රුපියල් ට්‍රිලියන 5.8ක සමස්ත ආයෝජනයකින් යුත් රුපියල් මිලියන 1,000 ඉක්මවන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 260ක් ක්‍රියාත්මක කරනු ලැබ ඇත.

ඒ අතුරින් ව්‍යාපෘති 125ක් සඳහා විදේශීය මූල්‍යන මාර්ග වලින් අරමුදල් සැපයෙන අතර මෙම ව්‍යාපෘති නිම කිරීමේ වර්ෂයන් 2030 වර්ෂය තෙක් පැතිර පවතී. 2022 වර්ෂයේ දෙවන කාර්තුව තුළ, රට තුළ පැවති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් පැන නැඟුන ආනයන සීමා, අමුද්‍රව්‍ය හිඟය, ඉන්ධන අර්බුදය, විදුලිය කපා හැරීම, මිල උද්ධමනය මෙන්ම ඒ හා බැඳුනු කොන්ත්‍රාත් කළමනාකරණ ගැටලු හේතුවෙන් එකී සංවර්ධන ව්‍යාපෘතිවල අඛණ්ඩ ක්‍රියාකාරීත්වය සඳහා දැඩි බලපෑමක් එල්ල වී ඇත.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද එම තොරතුරු සැලකිල්ලට ගනිමින් ඉහත ව්‍යාපෘතිවල සුමට ක්‍රියාකාරීත්වය තහවුරු කිරීම පිණිස අදාළ පාර්ශ්වයන්ගේ සහාය ලබා ගැනීම සහ පවතින ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කර එම ව්‍යාපෘති මඟින් අපේක්ෂිත ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත නිලධාරී කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

  • Ada Derana BIZ Sinhala
  • Committee
  • Ethanol Import
  • Licensing
  • Methodology
  • Public Accounts
  • sri lanaka

එතනෝල් ආනයනය සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සංවාදයට

June, 16, 2022

මෙරට භාවිතය සඳහා ආනයනය කරන එතනෝල් ප්‍රමාණය පිළිබඳව සහ ආනයනය කරනු ලබන ආයතන පිළිබඳව නිසි පරිදි නියාමනයක් සිදු නොවීම පිළිබඳව පසුගියදා (08)  පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ විශේෂ අවධානයට ලක්විය.

විවිධ සමාගම් සඳහා මෙරටට එතනෝල් ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කරන ක්‍රමවේදය, එම එක් එක් සමාගම් පිළිබඳ තොරතුරු, එම සමාගම් ආනයනය කරනු ලබන එතනෝල් ප්‍රමාණය පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් දෙසතියක් තුළ කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තු නිලධාරින් වෙත දන්වා සි‍ටින ලදී. එමෙන්ම, මත්පැන් නිෂ්පාදනය හැරුණු විට ඖෂධ ඇතුළු වෙනත් නිෂ්පාදන සඳහා එතනෝල් ආනයනය කර ඇති ප්‍රමාණය සහ නිසි පරිදි එම එතනෝල් එකී නිෂ්පාදන සඳහා පමණක් භාවිත කරන්නේද යන්න පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස අවධාරණය කරන ලදී.