January, 17, 2023
2023 වර්ෂය සඳහා වන රජයේ නව ආදායම් යෝජනා ක්රියාත්මක කිරීම ආරම්භ කර ඇති අතර, එමඟින් ජනනය වන ආදායම් රැස් කිරීම සඳහා යම් කාල සීමාවක් ගත වන බැවින්, රජයේ මුදල් ප්රවාහයේ සීමාවන්ට ගැළපෙන අයුරින් ජනවාරී මාසයේ සිට ඉදිරි මාස කිහිපය සඳහා රජයේ වියදම් කළමනාකරණය කර ගත යුතුව ඇත.
ඒ අනුව, විධායක නොවන නිලධාරීන්ගේ මාසික වැටුප් නියමිත දිනයන්හීදී ගෙවීමටත්, විධායක නිලධාරීන්ගේ මාසික වැටුප් නියමිත දිනට දින කිහිපයකට පසුව ගෙවීමටත්, මහා භාණ්ඩාගාරය විසින් ගනු ලැබ ඇති පියවරයන් පිළිබඳව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්ය වශයෙන් ජනාධිපතිවරයා අමාත්ය මණ්ඩලයේ අවධානයට යොමු කරන ලදුව, ඒ සඳහා අමාත්ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.
December, 21, 2022
කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්තකරුවන්ට නවීන තාක්ෂණය භාවිතයෙන් විශිෂ්ටයන් බවට පත්විය හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
රටට විදේශ විනිමය උපයා ගැනීමේ ප්රධාන කොටස්කරුවන් ලෙස කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (20) පස්වරුවේ කොළඹ ගලධාරී හෝටලයේ පැවති “2022 ජාතික විශිෂ්ටතා සම්මාන උළෙල” අමතමිනි.
ලංකා කර්මාන්ත මණ්ඩලය විසින් 21 වන වරටත් මෙය සංවිධානය කර තිබූ අතර හොඳම කර්මාන්තකරුවන් ඇගයීම මෙමගින් සිදු කෙරේ.
බිඳ වැටුණු ආර්ථිකය දෙස බලා පසුතැවෙනවා වෙනුවට වඩා සමෘද්ධිමත් අනාගතයක් උදා කර ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා දෙවන ලෝක යුද්ධයෙන් බිඳ වැටුණු ජපානය සහ ජර්මනිය යළි ගොඩනැගුණු අයුරු අපට ආදර්ශයක් සපයන බව ද පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා,
අපේ රටේ බිද වැටුණු ආර්ථිකය යළි ගොඩනැගීමේදී කර්මාන්තකරුවන්ට විශාල වගකීමක් පැවරෙනවා. කර්මාන්තකරුවන් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන පිරිසක්. රටක් ලෙස අපට මෙම තත්ත්වයෙන් ගොඩ ආ හැකි බව මම කියන්න කැමතියි. මේ අවස්ථාවේ කර්මාන්තකරුවන්ට බදු සහන ලබාදීමට හැකියාවක් නැහැ. නමුත් අපේ රටේ කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්ත තවදුරටත් දියුණු කළ හැකියි. ඒ සඳහා නවීන තාක්ෂණය භාවිතයට ගත හැකියි. ලෝකයේ වෙනත් රටවල කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්ත දියුණු වූ ආකාරය දෙස බලා ඔවුන් භාවිතා කර ඇති එම නවීන තාක්ෂණය අපගේ කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්තවල දියුණුවට යොදා ගැනීමට අප කටයුතු කළ යුතුයි. ඒ සඳහා රජයක් ලෙස ලබාදිය හැකි සියලු සහාය ලබාදීමට අපි සූදානම්.
පැරණි ක්රමවේද අනුගමනය කරමින් සිටිනවා ද, එසේ නොමැති නම් අලුත් විදියට සිතා නව වැඩපිළිවෙළක් ඔස්සේ රටේ ආර්ථිකය ශක්තිමත් කර ගනිමින්, රට ජාත්යන්තරයේ ඉහළට ඔසවා තබනවා ද යන්න ඔබ තීරණය කළ යුතුයි. මේ සඳහා ඔබට හොඳ අවස්ථාවක් තිබෙනවා.
ඒ වගේම බිඳ වැටුණු ආර්ථිකය දෙස බලමින් පසු තැවෙනවාද, සමෘද්ධිමත් අනාගතයක් උදාකර ගැනීමට සියලුදෙනා එක්ව කටයුතු කරනවාද යන්න අප සිතිය යුතුයි. දෙවන ලෝක යුද්ධය නිසා බිඳ වැටුණු ජපානය සහ ජර්මනිය ආර්ථික වශයෙන් නැවත ශක්තිමත් වෙලා ජාත්යන්තරය ජය ගත් හැටි ඔබ සිතා බලන්න. එසේ නම් අපටත් මේ රටේ ආර්ථිකය නැවත ගොඩනැඟිය හැකියි. ඒ සඳහා අප ආකල්පමය වෙනසක් ඇතිකර ගත යුතුයි.
අද අපේ රටට විදේශ විනිමය අවශ්ය වෙනවා. විදේශ විනිමය ඉහළ නංවා ගැනීමත් සමඟ අපගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. එවිට අපිට පුළුවන් අධ්යාපන සහ සෞඛ්ය අංශවලට වැඩි මුදලක් වෙන් කරන්න. එමගින් අධ්යාපන සහ සෞඛ්ය ක්ෂේත්රයේ මතුව ඇති ගැටලුවලට විසඳුම් ලබා දීමට අපිට හැකියාව ලැබෙනවා.
කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ උපකුලපති ජ්යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
December, 21, 2022
දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ව්යාපෘති වෙනුවෙන් මෙරටට විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.
පුනර්ජනනීය බලශක්තිය සියයට 70 ක ඉලක්කයකට ළඟා කර ගැනීම, 2050 වනවිට කාබන් මධ්යස්ථභාවය (carbon neutrality) ලබාගැනීම, කාබන් විමෝචන බලපත්ර වෙනුවෙන් වූ ජාත්යන්තර වෙළෙඳ පොළ සොයා යෑම යන ඉලක්ක තුන සපුරා ගැනීම සඳහා විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම රජයේ සැලසුම වී තිබේ.
මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන සහ ජාත්යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සෝල්හෙයිම් යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් පසුගිය (19) දා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
සහනදායි දේශගුණික මූල්යකරණය, කාබන් බැර කිරීම, කාබන් වෙළෙඳ පොළ, පුනර්ජනනීය බලශක්තිය සහ හයිඩ්රජන් වැනි අනාගත බලශක්ති ප්රභව පිළිබඳව සෝල්හයිම් මහතා සිය ජාත්යන්තර දැනුම මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටි නිලධාරීන් සමඟ හුවමාරු කර ගනු ලැබීය.
පුනර්ජනීය බලශක්තිය සම්බන්ධව ද අදහස් දැක්වූ සෝල්හයිම් මහතා ඉන්දියාව සහ චීනය වැනි රටවල් එහි ප්රබල වාසි රැසක් හිමි කර ගෙන සිටින බවත්, ශ්රී ලංකාවට ද එම වාසි අත් කර හැකි බවත් පෙන්වා දුන්නේය.
එසේම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙරටට බලපා ඇති සියලු ප්රශ්න විසඳනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් සෝල්හයිම් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා ප්රකාශ කළේ පුනර්ජනනීය බලශක්ති අංශය වේගයෙන් වර්ධනය වන අංශයක් බවත් යුරෝපය, ඇමෙරිකාව, කැනඩාව ඇතුළු රටවල එවැනි ආයෝජකයන් විශාල වශයෙන් සිටින බවත්ය.
ඒ අනුව මෙරට ජනතාවට වාසි අත්වන පරිදි එම ආයෝජන ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බව පෙන්වා දුන් රුවන් විජයවර්ධන මහතා, ප්රතිපත්ති සම්පාදනය කිරීමේදී ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බවත් පැවසීය.
එසේම පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව සමුළුවක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බවත්, ඒ තුළින් ආයෝජකයන් අප රටට ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට පරිසර අමාත්යාංශයේ ලේකම් අනිල් ජාසිංහ, දේශගුණික විපර්යාස කාර්යාලයේ අධ්යක්ෂිකා කුමුදුනී විද්යාලංකාර, එහි සහකාර අධ්යක්ෂ ආර්.එම් ආර්.ඩී වීරසූරිය, බාහිර මූලාශ්ර දෙපාර්තමේන්තුවේ (department of external source ) අතිරේක අධ්යක්ෂ ජනරාල් උදේනි උඩුගහපත්තුව, විදුලිබල හා බලශක්ති අමාත්යාංශයේ අධ්යක්ෂ පණ්ඩුල ද සිල්වා, ශ්රී ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්ය සාමාන්යාධිකාරි ඉංජිනේරු එම්.එල්. වීරසිංහ, ප්රධාන ඉංජිනේරු වජිර විජේකෝන්, ප්රධාන ඉංජිනේරු කේ. රාම්ජි, සජන සූරියාරච්චි, හෂාන් ජයකොඩි යන මහත්ම මහත්මීන් මෙන්ම සුනිත්ය බලශක්ති අධිකාරියේ නියෝජිතයන්ද සහභාගී වූහ.
November, 30, 2022
මහා පරිමාණ වැවිලි සමාගම් සතු ඌන උපයෝජිත ඉඩම් රජයට පවරාගැනීම පිළිබඳ මේ වන විට අවධානය යොමු කොට ඇති බවත් ඒ පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමතියට ඉදිරිපත් කොට ඇති බවත් අමාත්ය (වෛද්ය) රමේෂ් පතිරණ මහතා පැවසීය.
ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටද සිදු වන බවද ඒ මහතා සඳහන් කළේය.
වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාව අමාත්ය (වෛද්ය) රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය දා (25) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී හෙතෙම මේ බව පැවසීය.
අමාත්යවරයා මේ බව සඳහන් කළේ මහා පරිමාණ සමාගම් සතු ඉඩම් ප්රමාණය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා විසින් විමසන ලද කරුණක් සම්බන්ධයෙන් පැහැදිලි කරමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා පෙන්වා දුන්නේ මහා පරිමාණ වැවිලි සමාගම් අලුත් පැළ වගා කිරීම මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ නවතා ඇති බවයි. ඒ වෙනුවට පවතින වගාව පවත්වාගෙන යාම හෝ එම ඉඩම් වල පවතින ගස් කපා විකිණීමට කටයුතු කරන බව ඒ මහතා පෙන්වා දුන්නේය. එසේම රජයේ පොදු කටයුත්තකට කුඩා ඉඩම් ප්රමාණයක් හෝ ඔවුන් ලබා නොදෙන බවද අමාත්යවරයා මෙහිදී පැවසීය.
මේ අනුව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පෙන්වා දුන්නේ මෙම ඌන උපයෝජිත ඉඩම් රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් අවශ්ය නීති කෙටුම්පත් කටයුතු සඳහා තම පාර්ශ්වයේ සහයෝගය ලබා දෙන බවයි. එසේම මහා පරිමාණ ඌන උපයෝජිත ඉඩම් රජයට පවරාගෙන එම ඉඩම් සුළු පරිමාණ තේ වගාකරුවන්ට ලබා දී මෙරට තේ කර්මාන්තය නගා සිටුවීමට කටයුතු කරන ලෙසද ඒ මහතා යෝජනා කළේය.
එසේම තේ පොහොර සහ පළිබෝධනාශක වෙළඳ පොළෙහි අළෙවි වන මිල ගණන් සම්බන්ධයෙන් සහ ඒවායේ ප්රමාණවත් බව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා විය. තවද ප්රාදේශිය වශයෙන් පවතින වැවිලි කර්මාන්තය ආශ්රිත ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.
මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, ඉසුරු දොඩන්ගොඩ, ගුණතිලක රාජපක්ෂ, උපුල් මහේන්ද්ර රාජපක්ෂ, වීරසුමන වීරසිංහ, වී රාධක්රිෂ්නන්, සුදත් මංජුල සහ අකිල එල්ලාවල ඇතුළු මන්ත්රීවරු රැසක් සහභාගී වූහ.
November, 28, 2022
සියලුම අමාත්යාංශ, දෙපාර්තමේන්තු, රාජ්ය සංස්ථා, සමාගම්, ව්යවස්ථාපිත මණ්ඩල, රාජ්ය ව්යවසායන්, පළාත් සභා, පළාත් පාලන ආයතන සහ රාජ්ය බැංකු විසින් සිදුකරනු ලබන විවෘත කිරීම්, නිලධාරීන් විසින් රාජකාරී භාරගැනීමට හා විශ්රාම ගැනීමට අදාළව පවත්වන උත්සව, සුහද හමුවීම්, ප්රියසම්භාෂණ ද ඇතුළුව සියලුම ආකාරයේ උත්සව පැවැත්වීම වෙනුවෙන් රජයේ හෝ ස්වකීය ආයතනවල ඉපයීම් භාවිතා කරමින් දරනු ලබන වියදම් නැවැත්වීමට කටයුතු කළ යුතු බව නැවත අවධාරණය කරන බවත් සියලුම ආයතන ප්රධානීන් මෙම උපදෙස් තරයේ පිළිපැදිය යුතු බවටත් සඳහන් කරමින් භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා විසින් චක්රලේඛයක් නිකුත් කර තිබේ.

November, 21, 2022
නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාෂය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය.
දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් හා ගෝලීය අගය දාමයන් සමඟ ශ්රී ලංකාව ඒකාබද්ධ කරමින් පසුව එය නැගෙනහිර කලාපය දක්වා දීර්ඝ කර කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) හා සම්බන්ධ වීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව ද සමන් ඒකනායක මහතා පැවසීය.
මෙම සංවර්ධන ක්රියාපිළිවෙතෙහි අවසාන ප්රතිලාභීන් පෞද්ගලික අංශයේ කර්මාන්ත වන බැවින් ඊට නිර්මාණශීලීව දායකවන ලෙස ද ජනාධිපති ලේකම්වරයා පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන්ට ආරාධනා කළේය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම අදහස් පළ කළේ නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබඳව වෙළෙඳ මණ්ඩල සහ කර්මාන්ත උපදේශක කමිටු දැනුවත් කිරීම සඳහා පසුගිය 16දා මුදල් අමාත්යාංශයේ දී පැවැති සාකච්ඡවේදී ය.
මුදල් අමාත්යාංශයේ ලේකම්, විදේශ කටයුතු, වෙළඳ සහ කර්මාන්ත යන අමාත්යාංශ ලේකම්වරුන් සහභාගී වූ මෙම සාකච්ඡාවට ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවේ සාමාජිකයින්ද එක්ව සිටියහ.
ගෝලීය වෙළඳාම අද වනවිට එහි ගතානුගතික සීමාවන් අභිබවා ගෝලීය නිෂ්පාදන ජාලයන් දෙසට නැඹුරු වී ඇති අතර තවමත් ශ්රී ලංකාවට ඊට අනුගත වෙමින් එහි ප්රතිලාභ ලබා ගැනීමට නොහැකි වී ඇත. එබැවින් සැපයුම් ධාරිතාව වර්ධනය සහ වෙළෙදපොළ ප්රවේශය පුළුල් කර ගැනීම යන කරුණු දෙකම දේශීය ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා අත්යාවශ්ය බව හඳුනාගෙන තිබේ.
ඒ අනුව සිංගප්පූරුව සමඟ වන නිදහස් වෙළෙඳ ගිවිසුම ක්රියාත්මක කිරීම සඳහා රජයේ අවධානය යොමු වී ඇති අතර ආයෝජන වෙළෙඳ අන්තර් – සම්බන්ධතාව හරහා භාණ්ඩ හා සේවා වෙළෙඳාමට ප්රතිලාභ ලබාදීම සඳහා සෘජු විදේශ ආයෝජන විශාල ලෙස ආකර්ශණය කරගත හැකි ඉන්දියාව, චීනය සහ තායිලන්තය සමඟ නිදස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට රජය මේ වන විට මූලික පියවර ගෙන ඇත.
ඇණහිට ඇති මෙම සාකච්ඡා නැවත පණ ගැන්වීම සඳහා අමාත්ය මණ්ඩලය විසින් දැනටමත් වෙළඳ සාකච්ඡා කමිටුවක් පත් කර ඇති අතර මෙම ගිවිසුම් අවසානයේ දී ලෝක ආර්ථිකයෙන්, වෙළඳාමෙන් හා ජනගහනයෙන් 30% ක හිමිකාරිත්වයක් සතු කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමට ශ්රී ලංකාවට මාවත විවර කර දෙනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා, දේශීය ආර්ථිකය තුළට ණය නොවන ගලා ඒම්හි මෙන්ම අපනයන නිෂ්පාදන හා වෙළඳපොළ විවිධාංගීකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.
එසේම 2023 අයවැය යෝජනාවක් ලෙස, සියලුම ජාත්යන්තර වෙළඳ සාකච්ඡා සිදු කිරීම සඳහා ස්ථාපිත කිරීමට යෝජිත, ජාත්යන්තර වෙළඳ කාර්යාලය (ITO) සම්බන්ධයෙන් ද කරුණු දැක්වූ මුදල් අමාත්යාංශ ලේකම්වරයා මෙම සාකච්ඡා ක්රියාවලියේ දී වාණිජ මණ්ඩල සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ කටයුතු කිරීමේ අවශ්යතාව ද පෙන්වා දුන්නේය.
විදේශ කටයුතු අමාත්යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ප්රකාශ කළේ මෙම වෙළෙඳ සාකච්ඡා සඳහා පහසුකම් සැලසීමට විදේශ දූත මණ්ඩල සහ රාජ්ය තාන්ත්රික මෙහෙයුම් යාන්ත්රණය පූර්ණ සූදානමකින් පසුවන බවයි.
රජයේ සැලැස්මට අනුව යෝජිත ආයතනික යාන්ත්රණය නිසි ලෙස ස්ථාපිත වූ පසු එය විදේශ කටයුතු අමාත්යාංශය යටතට පත් කෙරනු ඇති අතර ඒ හරහා ජාත්යන්තර වෙළෙඳ සාකච්ඡා සිදු කෙරෙනු ඇති බව ඇය සඳහන් කළාය.
පෞද්ගලික අංශයේ නියෝජිතයන්ද ඉතා උනන්දුවෙන් මෙම සාකච්ඡාවට එක්ව සිටී අතර ශ්රී ලාංකික අපනයනවලට විදේශ වෙළඳපොළ පුළුල් කර ගැනීම් සහ පවත්නා වෙළඳපොළ රැක ගැනීමේ යෝජනා පිළිබඳ පුළුල් අවධානයක් යොමු කිරීමේ අවශ්යතාව ඕවුහු පෙන්වා දුන්හ.
අපනයන භාණ්ඩ සඳහා තීරුබදු ඉවත් කර ගැනීමට සමගාමීව කෝටා සීමාවන්, ප්රමිති පරීක්ෂා කිරීම සඳහා අවශ්ය රසායනාගාර පහසුකම්, අන්යොන්ය ප්රමිතීන් හඳුනාගැනීමේ ගිවිසුම්වලට එළැඹීම වැනි අපනයනකරුවන් ප්රායෝගිකව මුහුණ දෙන තීරු බදු නොවන අනෙකුත් ගැටළු කෙරෙහි ද මෙම ගිවිසුම් මගින් අවධානය යොමු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියහ.
එසේම වෙළෙඳ සාකච්ඡා ක්රියාවලිය පුරාවටම පුද්ගලික අංශය සමඟ නිරන්තර පුළුල් සංවාදයක් අදාළ රාජ්ය ආයතන හරහා පවත්වන බවට ජාතික වෙළඳ සාකච්ඡා කමිටුව මෙහිදී තහවුරු කරන ලදී.
Video Story