January, 10, 2023
ජාත්යන්තර මූල්ය අරමුදල් විසින් ශ්රී ලංකාවට සල්ලි අච්චු ගැසීම තහනම් කර ඇති බව කැබිනට් ප්රකාශක අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද (10) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දී මේ මාධ්ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියේය.
“මේ සෑම වියදමක්ම දරන්නේ මහජනයාගෙන් අය කරන ගන්න බදු මුදල්වලින්. මහජනතාව මත විශාල පීඩනයක් බදුවලින් පැනවෙලා තියෙනවා. ඒ බදු ගෙවන ජනතාවගෙන් ලබාගන්න පුළුවන් උපරිමයට වඩා වියදම් ප්රමාණය දිගින් දිගටම වැඩියි. කෙනෙකුට ප්රශ්නයක් අහන්න පුළුවන්, ඉතිහාසයේ කොහොමද එහෙම වියදම් දැරුවේ කියලා. ඉතිහාසයේ හැම ආණ්ඩුවක්ම ඒ වියදම දරලා තියෙන්නේ සල්ලි අච්චු ගහලා.“
“අපි දිගටම සල්ලි අච්චු ගහලා, අච්චු ගහලා ණය අරගෙන ඒම තුළ තමයි නිදහසින් අවුරුදු 75ක් ගතවෙන කොට අපිට ඒ ගත්ත ණය බේරුම් කරන්න බැරුව මේ දරුණු ආර්ථික අර්බුදය ඇතිවෙලා තියෙන්නේ, දිගින් දිගටම සියලු වියදම්, එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් දරා ගත්තේ සල්ලි අච්චු ගහලා.“
“දැන් අපිට ණය හිමියන්ට ඒ ණය නොගෙවීම නිසා ජාත්යන්තර මූල්ය අරමුදල හා අනෙකුත් ණය දෙන ආයතන විසින් සල්ලි අච්චු ගැසීම තහනම් කරලා තියෙනවා. සල්ලි අච්චු ගැසීම කරන්න දෙන්නේම නැහැ. ඒ තත්ත්වය තුළ තමයි රටේ මූල්ය කළමනාකරණය කරන්න සිද්ධවෙලා තියෙන්නේ.“
January, 2, 2023
මේ වසරේ ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකක් අවපාතයකට ලක් වනු ඇතැයි ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) ප්රධානී ක්රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අනතුරු අඟවා තිබේ.
එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ චීන ආර්ථිකයන් මෙම වසරේ දී මන්දගාමී වනු ඇති බවත් 2023 වසර පසුගිය වසරට වඩා “අසීරු” වනු ඇති බවත් ඇය මෙහිදී පවසා ඇත.
යුක්රේනයේ යුද්ධය, ඉහළ යන මිල ගණන්, ඉහළ පොලී අනුපාත සහ චීනයේ කොවිඩ් ව්යාප්තිය ගෝලීය ආර්ථිකයට බරක් වීම මේ සඳහා ප්රධාන වශයෙන් හේතු වන ඇති බව ඇය සඳහන් කරයි.
"ලෝක ආර්ථිකයෙන් තුනෙන් එකක් අවපාතයක පවතිනු ඇතැයි අපි අපේක්ෂා කරමු," ජෝර්ජීවා මහත්මිය CBS ප්රවෘත්ති වැඩසටහනකට එක්වෙමින් පැවසුවාය.
"අවපාතයේ නොමැති රටවල් පවා, මිලියන සිය ගණනක් ජනයාට එය අවපාතයක් ලෙස හැඟෙනු ඇත," ඇය තවදුරටත් සඳහන් කළාය.
December, 6, 2022
ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්රී ලංකාවට බහුපාර්ශ්වික මූල්ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්ය බව ලෝක බැංකුව (WB), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) නියෝජිතයින් තීරණය කර තිබේ.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමඟ අද (06) කොළඹදී පැවති දීර්ඝ වට මේස සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළැඹිණි.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්යවරයා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් “ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ වර්ධනය කිරීම ඇතුළත් දීර්ඝකාලීන සංවර්ධන දැක්ම” සම්බන්ධ ශ්රී ලංකාවේ සංවර්ධන වැඩසටහන මෙහිදී ඉදිරිපත් කරනු ලැබීය.
ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser), ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ෂික්සින් චෙන් (Shixin Chen), ජාත්යන්තර මූල්ය අරමුදලේ ජ්යෙෂ්ඨ දූත මණ්ඩල ප්රධානී පීටර් බෲවර් (Peter Breuer), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ආචාර්ය උර්ජිත් පටෙල් (Dr. Urjit Patel) යන මහත්වරු සමග පැවති මෙම සාකච්ඡාවට අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන, මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය, විදේශ කටයුතු අමාත්ය අලි සබ්රි, විදුලිබල හා බලශක්ති අමාත්ය කාංචන විජේසේකර, ආයෝජන ප්රවර්ධන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ජ්යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති උපදේශක දිනේෂ් වීරක්කොඩි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, හිටපු මහ බැංකු අධිපති ඉන්ද්රජිත් කුමාරස්වාමි යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
November, 10, 2022
ජාත්යන්තර මූල්ය අරමුදල විසින් ශ්රී ලංකාව වෙත සහයෝගය ලබා දීමට සූදානම් බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් තබා ගත යුතු නොවන බවත් ජනාධිපති රනිල් වික්රමසිහ මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ අද (10) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ දී සභාව අමතමිනි.
ඉන්දියාව සහ චීනය සමඟ ණය ප්රතිව්යූහගතකරණය සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති අතර එම සාකච්ඡා දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා සිටියේය.
"මට අවස්ථාව හම්බුනා විශේෂයෙන්ම ජාත්යන්තර මූල්ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂිකාව හම්බවෙන්න. එතුමිය එක්ක සාකච්ඡා කරා මේ සම්බන්ධයෙන්. අපිට සහයෝගය දෙනවා කිව්වා. ඉතින් කිසිම සැකයක් තියන්න එපා. අපිට දැන් තියෙන්නේ ඉන්දියාවයි චීනයයි එක්ක සාකච්ඡා කරලා අවසන් කරන්න. චීනය අපිට කිව්වේ පක්ෂ සම්මේලනයෙන් පස්සේ ආරම්භ කරන්න කියලා. ඒක ආරම්භ කරලා තියනවා. ඉතින් අපි ඒ ගැන බලලා අපි ක්රියාත්මක කරමු. රටවල් දෙකෙන්ම ඉල්ලන්නේ අපිට දෙසැම්බර් මාසය වෙනකොට අපි බලමු මේක අවසන් කරන්න කියලා. ලෝක බැංකුවේ සභාපතිතුමත් හමුවුණා. මම මේ ගැන දීර්ඝ වශයෙන් කතාකරන්න යන්නේ නැහැ."
November, 8, 2022
රට ගොඩනැඟීම සඳහා වන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ දැක්ම ජාත්යන්තර නිර්නායක ඉක්මවා යන්නක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක මහතා පැවසීය.
සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති රාජ්ය නිලධාරීන් සහ ලෝක බැංකු සාමාජිකයින් අතර ලෝක බැංකු අයවැය සහාය සහ සංවර්ධන ප්රතිපත්ති සූදානම් කිරීමේ මෙහෙයුම (DPO) ආරම්භ කිරීමේ හමුවට එක්වෙමිනි.
රට ආර්ථික වශයෙන් ස්ථාවර කිරීමට, ශක්තිමත් ප්රතිපත්ති රාමුවක් ඇති කර ගැනීමට සහ අවශ්ය මාර්ග සිතියමට යාමට මෙය හොඳම අවස්ථාව බව පෙන්වා දුන් රත්නායක මහතා රටක් ලෙස අපට එම හැකියාව තිබෙන බවත් එයින් උපරිම ප්රයෝජන ගන්නා ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.
ඉදිරි සති දෙක අවසානයේ එම ප්රතිපත්ති රාමුව සකස් කිරීමට අදාළ අවසන් වාර්තාව ලබා ගැනීම, මාර්ග සිතියම සැකසීම සහ කාල රාමුවට අනුව සියලුදෙනා කැපවී කටයුතු කිරීමේ වැදගත්කම ද සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.
මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා මෙහිදී සඳහන් කර සිටියේ, රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කැපවී සිටින බවත් ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ඉතා අසීරු තීරණ ගෙන ඇති බවත්ය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ රට වෙනුවෙන් වූ ක්රියාකාරී ප්රතිපත්තිය සහ දැක්ම පිළිබඳ මවිතයට පත් වන බවත් ඊට සහාය දැක්වීමට ලෝක බැංකුව කටයුතු කරන බවත් මාලදිවයින, නේපාලය සහ ශ්රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්යක්ෂ ෆාරීස් හඩඩ් ස්වෝස් (Faris Hadad-Zervos) මහතා සඳහන් කළේය
ප්රතිපත්ති සහ ආයතනික ප්රතිසංවිධානය සඳහා රජයන්ට සෘජු අයවැය සහාය ලබා දෙන සංවර්ධන ප්රතිපත්ති මෙහෙයුම් හරහා විශේෂිත සංවර්ධන ප්රතිඵල සමූහයක් සාක්ෂාත් කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණු වේ.
අපේක්ෂිත සංවර්ධන මූල්ය අවශ්යතා සමඟ කටයුතු කිරීමට ඉඩ සැලසීම සඳහා වේගවත් මූල්ය ආධාර සැපයීම, මූල්ය පාලනය පරිවර්තනය කිරීම, තරඟකාරිත්වය ඉහළ නැංවීම යන කරුණු තුනක් යටතේ මෙම මෙහෙයුම් සැලසුම් කර ඇත.
ණය කළමනාකරණය සහ විනිවිදභාවය, මූල්ය අධීක්ෂණය, බදු පරිපාලන ප්රතිපත්තිය වැඩිදියුණු කිරීම, රාජ්ය ප්රසම්පාදන විනිවිදභාවය මෙන්ම මුදලෙහි වටිනාකම වැඩි කිරීම, ස්වෛරී මූල්ය අංශයේ සම්බන්ධය බිඳ දැමීම සහ ක්රමානුකූල අවදානම අවම කිරීම යන ක්ෂේත්ර පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා මෙහිදි කරන ලදී.
රජය සතු ව්යවසාය පිළිබඳ අධීක්ෂණය ප්රතිසංස්කරණය සහ වැඩි දියුණු කිරීම, ජාතික තීරුබදු ප්රතිපත්තියේ අපනයන විරෝධී නැඹුරුව අඩු කිරීම, විදේශ ආයෝජන සඳහා ඇති බාධා ඉවත් කිරීම, බලශක්ති සහ ප්රවාහන ක්ෂේත්රය ආනයනික ඉන්ධන මත යැපීම අඩු කිරීම, වඩාත් දේශගුණික හිතකාමී කිරීම, සමාජ ආරක්ෂණ ආයතන, බෙදා හැරීමේ පද්ධතිය ශක්තිමත් කිරීම සහ ඉලක්ක කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට සමාජ සවිබල ගැන්වීම් කාන්තා හා ළමා කටයුතු රාජ්ය අමාත්ය අනුප පස්කුවල්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ලෝක බැංකුවේ දේශීය කළමනාකරු චියෝ කන්දා යන මහත්ම මහත්මීහු සහ ලෝක බැංකු කණ්ඩායමේ සාමාජිකයින් හා රේඛීය ආයතනවල නිලධාරීහු එක්ව සිටියහ.
October, 6, 2022
ශ්රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්රවර්ධනය කිරීම යන තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 51 වැනි සැසිවාරයට ඉදිරිපත් කර ඇති නව යෝජනාවේ ඡන්ද විමසීම අද (06) සිදුකෙරිණි.
මෙරට වර්තමාන ආර්ථික අර්බුදයට විසඳුම් සේවීමේ දී ඊට මුල් වූ වර්තමාන හා හිටපු රාජ්ය නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ෂන සිදුකොට නීතිය ඉදිරියට පැමිණවිය යුතු බවත්, එහිදී ස්වාධීන අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් කටයුතු කළ යුතු බවත් එහිදී යෝජනා කර තිබුණි.
මේ අතර මානව හිමිකම් කවුන්සිලයේ මෙම තීරණ, ජාත්යන්තර මූල්ය අරමුදලේ වැඩසටහන සඳහා බලපෑමක් එල්ලවන්නේ දැයි ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ මෙම කරුණු දෙකෙහි සම්බන්ධයක් නොමැති බවයි.

ජාත්යන්තර මූල්ය අරමුදලේ කටයුතු කිසිම දෙයක් ඔවුන් (මානව හිමිකම් කොමිසම) සමඟ සන්නිවේදනය කරන්නේ නැති බව අපි දන්නවා.
එසේ බලපෑමට ලක්වන කිසිම කරුණක් ගැන මහ බැංකු බලධාරීන් දැනුවත් කර නැහැ.
එක්සත් ජාතීන්ගේ කවුන්සලය වෙනමම එකක්.
මූල්ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ක්රියාපටිපාටිය වෙනමම එකක්.
ඒ ගැන කිසිම සම්බන්ධයෙක් අපි දකින්නේ නැහැ.
September, 1, 2022
මෙම වසරේ දී ශ්රී ලංකා ආර්ථිකය 8.7% කින් සංකෝචනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජාත්යන්තර මූල්ය අරමුදල සඳහන් කර සිටී.
ජාත්යන්තර මූල්ය අරමුදලේ දූත කණ්ඩායමක් 2022 අගෝස්තු 24 සිට සැප්තැම්බර් 01 දක්වා ජාත්යන්තර මූල්ය අරමුදලේ සහාය දක්වන ආර්ථික ගැලපුම් වැඩසටහන පිළිබඳව ශ්රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා අඛණ්ඩව සිදු කරගෙන යාම සඳහා ශ්රී ලංකාවට පැමිණියේය. දූත කණ්ඩායම විසින් සිය සංචාරය අවසානයේ දී අද (01) දින නිකුත් කළ මාධ්ය නිවේදනයේ මේ බව සඳහන් වේ.
එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
“ශ්රී ලංකාව උග්ර අර්බුදයකට මුහුණ දී සිටී. බාහිර කම්පනවලය ඔරොත්තු දීමට ඇති ආරක්ෂණ ප්රමාණවත් නොවීම සහ තිරසාර නොවන රාජ්ය ණය තත්ත්වය හේතුවෙන් අවදානම් වර්ධනය වී ඇත. අප්රේල් මාසයේ දී විදේශ ණය ආපසු ගෙවීම තාවකාලිකව නැවැත්වීමත් සමඟ ශ්රී ලංකාව තම විදේශීය වගකීම් පියවීම කල් දැමූ අතර, තීරණාත්මක ලෙස අඩු මට්ටමක පවතින විදේශ සංචිත ඉන්ධන ඇතුළු අත්යාවශ්ය භාණ්ඩ ආනයනයට බාධාවක් වීම මඟින් ආර්ථික ක්රියාකාරකම් තවදුරටත් අඩාල කළේය. 2022 වසරේ දී ආර්ථිකය සියයට 8.7කින් සංකෝචනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර උද්ධමනය සියයට 60ක් ඉක්මවිය. මෙහි බලපෑම අසමානුපාතික ලෙස දිළිඳු සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් විසින් දරනු ඇත.“
September, 1, 2022
ශ්රී ලංකාව සහ ජාත්යන්තර මූල්ය අරමුදල අතර කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්යන්තර මූල්ය අරමුදල මීට සුළු වේලාවකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය.
ඒ අනුව මාස 48ක් වැඩපිළිවෙලක් යටතේ ශ්රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බව එම නිවේදනය වැඩිදුරටත් දැක්වේ.
Video Story