Tata Group, DIMO සහ ChildFund එක්ව  ‘Hope in a Backpack’ වැඩසටහන දියත් කරයි

    July, 20, 2026

    දිට්වා සුළි කුණාටුව සහ ඉන් අනතුරුව ඇති වූ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ දැඩි ලෙස බලපෑම් ලැබූ අතර, එයට දක්වන මානුෂීය ප්‍රතිචාරයක් ලෙස Tata Group, ChildFund සහ DIMO සමඟ එක්ව රට පුරා බලපෑම් ලැබූ දහස් ගණනක් පාසල් දරුවන්ට සහය වීමට වැඩසටහනක් දියත් කරනු ලැබීය.

    ශ්‍රී ලංකාවෙන් ලැබුණු දත්ත පදනම් කොට, 2025 දෙසැම්බර් මාසයේ දී සිදු කරනු ලැබූ හදිසි අවශ්‍යතා හඳුනා ගැනීමකින් අනතුරුව Tata Group හට අයත් සමාගම් සමඟ එක්ව මෙම සහන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු සිදු කළහ.

    මෙම වැඩසටහන යටතේ, ආපදාවට පත් දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ ඇතුළත් බෑග් ලබාදෙන ‘Hope in a Backpack’ වැඩසටහන කොළඹ Taj Samudra හෝටලයේ දී Tata Group විසින් ක්‍රියාත්මක කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියත්, විශේෂ ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා මහතාත්, DIMO හි සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා, Tata Sons හි Group Chief Sustainability Officer චාකෝ තෝමස් මහතා සහ ChildFund හි Country Director අදීති ඝෝෂ් මහත්මිය ද සහභාගී වූහ.

    මෙම වැඩසටහන DIMO හි 'Lassana Hetak' සමාජ සත්කාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක වූ අතර, අනාගත පරපුරට යහපත් හෙට දවසක් උදාකර දීම එහි මූලික අරමුණ වේ. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා Tata සහ DIMO සේවක මහත්ම මහත්මීන් ද ස්වේච්ඡාවෙන් එක්ව, පාසල් උපකරණ බෑග් සකස් කිරීම හා බෙදාහැරීමේ කටයුතුවල නිරත වූහ. එම අවස්ථාවේ දී විශේෂයෙන් ආරාධනා කළ පාසල් දරුවන් වෙත ද එම බෑග් පිරිනමන ලදී.

    මෙම හවුල්කාරිත්වය පිළිබඳ අදහස් දැක්වූ DIMO හි සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය. "Tata Group සහ ChildFund සමඟ එක්ව මෙම සමාජ සත්කාර වැඩසටහනට දායක වීමට ලැබීම පිළිබඳව DIMO අපි බෙහෙවින් සතුටු වෙනවා. Tata සමඟ අපගේ හවුල්කාරිත්වය දශක හයකට වැඩි කාලයක් පුරා විශ්වාසය, ව්‍යාපාරික ආචාරධර්ම සහ සමාජයට වටිනාකමක් එක් කිරීම යන පොදු වටිනාකම් මත ගොඩනැගී තිබෙනවා. ව්‍යාපාරික සබඳතාවයකින් ඔබ්බට ගොස් සමාජය කෙරෙහි සැබෑ වෙනසක් ඇති කරන මෙවැනි වැඩසටහන් සඳහා එක්වීම අපට ගෞරවයක්. මෙම වැඩසටහන මඟින් ආපදාවෙන් පීඩාවට පත් දරුවන්ට නැවත විශ්වාසයෙන් යුතුව පාසල් ජීවිතය ආරම්භ කිරීමට අවස්ථාව ලබා දීමටත්, ප්‍රජාවන්ගේ යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලියටත් දායක වීමටත් හැකි බව අප විශ්වාස කරනවා."

    මෙම වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ Tata Sons හි Group Chief Sustainability Officer චාකෝ තෝමස් මහතා මෙසේ පැවසීය. "Tata හි නිර්මාතෘ ජම්ෂෙට්ජි ටාටා මහතාගේ දර්ශනය වූයේ සමාජය යනු ව්‍යාපාරයේ තවත් පාර්ශ්වකරුවෙකු නොව, එහි පැවැත්මේ සැබෑ අරමුණ බවයි. එම දර්ශනයට අනුව, ආපදාවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාවට, විශේෂයෙන්ම දරුවන්ට, ඔවුන්ගේ ජීවිත යළි ගොඩනගා ගැනීමේ ගමනට සහාය වීමට ලැබීම අපට ගෞරවයක්. මෙම වැඩසටහන ප්‍රජාවන්ට නැවතත් විශ්වාසයෙන් හා නව බලාපොරොත්තුවෙන් ඉදිරියට යාමට ශක්තියක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා."

    මෙම දිස්ත්‍රික් මට්ටමේ බෙදාහැරීමේ වැඩසටහන, සමස්ත වශයෙන් සිසුන් 27,000කට ආසන්න පිරිසක් ඉලක්ක කරමින්, කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් 101ක සිසුන් 8,000කට අධික පිරිසකටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් 54ක සිසුන් 5,000කට ආසන්න පිරිසකටත්, බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් 77ක සිසුන් 11,000කට අධික පිරිසකටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ සිසුන් සඳහා අනෙකුත් ප්‍රධාන කටයුතු සඳහා සහාය ලබා දෙමින් ද දියත් කරනු ලැබීය.

    මෙම වැඩසටහන තුළින් Tata Group, DIMO සහ ChildFund එක්ව ආපදාවෙන් පීඩාවට පත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, අවදානමට ලක්වූ ප්‍රජාවන්ට සහයෝගය ලබාදෙමින් ශ්‍රී ලංකාවේ යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලියට අඛණ්ඩ දායකත්වයක් ලබාදීමටත් ඇති පොදු කැපවීම යළිත් තහවුරු කරයි.