Taylor Swift ලොව ලොකුම ධනවතුන්ගේ ලැයිස්තුවට එක්වෙයි. ලොව පුරා ඩොලර් බිලියනපතියන් 2,781 ක්. ප්‍රංශයේ Bernard Arnault අංක 1ට

    April, 4, 2024

    ජනප්‍රිය ඇමරිකානු පොප් තාරකාවක් වන Taylor Swift ලොව ඩොලර් බිලියනපතියන්ගේ ලැයිස්තුවට ඇතුලත් වී ඇති බව Forbes සඟරාව අනාවරණය කරයි.  Forbes World's Billionaires ලැයිස්තුවට අනුව Taylor Swift ගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක් ලෙසින් ගණනය කර ඇති අතර ඊට අමතරව AI chatbot ChatGPT හි නිර්මාතෘ Sam Altman ද මෙම ලැයිස්තුවේ සිටින බව එහි සඳහන් වේ. Sam Altman ගේ වත්කම් අගය ඩොලර් බිලියනයකි.

    Forbes සඟරාව පවසන්නේ 2024 වසර වන විට ලොව පුරා ඩොලර් බිලියනපතියන් 2,781 දෙනෙකු වාර්තා වන බවයි. එය පසුගිය වසරට වඩා බිලියනපතියන් 141 දෙනෙකුගේ වැඩිවීමකි.

    මොවුන් සියලු දෙනා සතු සමස්ත ධනස්කන්ධය ඩොලර් ට්‍රිලියන 14.2 ක් බව Forbes වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

    Forbes පවසන පරිදි 2024 වසරේ ලොව ධනවත්ම පුද්ගලයා ලෙසින් ප්‍රංශයේ Bernard Arnault නම් කර ඇති අතර ඔහු සහ ඔහුගේ පවුලේ සමස්ත වත්කම ඩොලර් බිලියන 233 ක් ලෙසින් ගණන් බලා ඇත. Louis Vuitton, Christian Dior හා Sephora යනා දී ලොව අතිසුඛෝපභෝගී සන්නාමයන්ට හිමිකම් කියන LVMH සමූහය ඔවුන්ගේ ව්‍යාපාරයයි.

    මෙම ලැයිස්තුවේ සෙසු ප්‍රමුඛ ස්ථානවල පිළිවෙලින් Elon Musk (Tesla, SpaceX), Mark Zuckerberg (Facebook), Larry Ellison (Oracle) සහ Warren Buffett (Berkshire Hathaway) වැජඹෙනු ඇත.