The Coca-Cola Foundation, Eco Spindles සහ Janathakshan එක්ව කොළඹ නගරයේ ප්ලාස්ටික් දුෂණය පිටුදැකීම ‘Eko Wave’ අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථානය ස්ථාපිත කරයි

    June, 12, 2023

    Coca-Cola පදනම (TCCF), Eco-Spindles සහ Janathakshan විසින් 2023 ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව කොළඹදී ‘Eko Wave’ නමින් අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථානයක් (Material Recovery Facility – MRF) මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් පතිරගේ මහතා සහභාගීත්වයෙන් නිල වශයෙන් දියත් කරන ලදී.

    ‘ප්ලාස්ටික් දුෂණය සඳහා විසඳුම්’ යන එක්සත් ජාතීන්ගේ ලෝක පරිසර දින තේමාව අනුව යමින් ගනු ලැබූ වැදගත් පියරක් ලෙස කොළඹදී දියත් කරන ලද මෙම Eko Wave MRF මධ්‍යස්ථානය හඳුන්වා දිය හැකියි. එමගින් පාරිසරික තිරසාරභාවය සඳහා ඔවුන්ගේ ඇති දැඩි කැපවීම මැනවින් පෙන්නුම් කෙරෙන අතර මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ශක්තිමත් විසඳුමක් ද සපයනු ලබයි. මෙම MRF මධ්‍යස්ථානය විශේෂ තාක්ෂණය සහ අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ නව්‍ය ක‍්‍රම භාවිතා කරමින් කලාපයේ දැනට පවතින ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ අභියෝගවලට කදිම විසඳුමක් ලබා දෙයි. එය වගකීම් සහගත නිෂ්පාදනය සහ පරිභෝජනය සඳහා කදිම නිදසුනක් ද සපයනු ලබයි.

    මෙම MRF මධ්‍යස්ථානය සඳහා අරමුදල් සපයන ලද්දේ Coca-Cola හි පරිත්‍යාගශීලී හස්තය වන Coca-Cola පදනම (TCCF), සහ ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරන්නා වන Eco Spindles ය. එය ක‍්‍රියාත්මක කරනු ලැබුවේ ලාභ නොලබන සංවිධානයක් වන Janathakshan (GTE) Ltd කොළඹ දිස්ත‍්‍රික්කයේ අපද්‍රව්‍ය එකතු කිරීමේ කි‍්‍රයාදාමය ශක්තිමත් කරමින් මෙම Eko Wave හරහා මසකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 20,000කට වැඩි ප‍්‍රමාණයක් එකතු කර ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ හැකියාව ඇත.

    ප‍්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස කොළඹින් දිනකට අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 1057.5ක් පමණ ජනනය වෙයි. Eko Wave විසින් මෙයට පිළියමක් ලෙස ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කිරීම තවත් පුළුල් කිරීම සඳහා අවිධිමත් අපද්‍රව්‍ය එකතු කිරීමේ ජාලය සමඟ සම්බන්ධ වීමෙන් පූර්ව පියවර ගෙන ඇත. ඒ අනුව ඔවුන් ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ද්‍රව්‍ය වෙන් කර ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන්නන් වෙත යැවීමට පෙර අපද්‍රව්‍ය බේල් කිරීම මඟින් තෙරපා සහ ක‍්‍රශ් කිරීම මඟින් කුඩා කැබලි වලට කපා අගය එකතු කිරීමේ ක‍්‍රියාවලියකට භාජනය කරනු ඇත. පසුව ඒවා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය සහ නිෂ්පාදන සමාගමක් Eco Spindles වෙත යවනු ලැබේ.

    මීට අමතරව Eko Wave විසින් පාසල් සහ ප‍්‍රජාවන් ඉලක්ක කර ගනිමින්, වගකීමෙන් යුතුව කසළ බැහැර කිරීමේ ක‍්‍රමවේද ප‍්‍රවර්ධනය කිරීමට සහ PET ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන්වලට සිය මූලිකත්වය ලබා දෙයි. දැනටමත් මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් 25ක් හරහා කොළඹ නගරයේ පුද්ගලයින් 2000කට කසළ වගකීමෙන් බැහැර කිරීම පිළිබඳ දැනුම ලබා දී ඇත. මෙම අවිධිමත් අපද්‍රව්‍ය එකතුකරන්නන්ගේ ජාලය පුළුල් කිරීමෙන් මෙම පහසුකම හරහා පුද්ගලයන්ට, විශේෂයෙන් උදව් උපකාර අවශ්‍ය ප‍්‍රජාවන්ට අමතර ආදායම් මාර්ග උපයා ගැනීමට අවස්ථාව සලසා දෙයි. මේ වන විට අපද්‍රව්‍ය එකතුකරන්නන් 115 කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගේ හැකියාවන් තවත් ශක්තිමත් කිරීමට Eko Wave කටයුතු කරයි. තවද එය ‘‘නැවත මිලදී ගැනීමේ” මධ්‍යස්ථානයක් ලෙස ක‍්‍රියා කරනු ලබන අතර, ප‍්‍රාදේශීය ප‍්‍රජාවන්ට ඔවුන්ගේ ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි කසළ කෙලින්ම MRF වෙත ලබා දීමට හැකි වේ. ඒ හරහා ජනතාවට තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදාවෙයි.

    මේ පිළිබඳව අදහස් දකවමින් Coca-Cola පදනමේ සභාපති Saadia Madsbjerg පැවසුවේ ‘‘ප්ලාස්ටික් දුෂණය පිටු දැකීම සහ වගකීමෙන් යුතුව නිෂ්පාදනය හා පරිභෝජනය ප‍්‍රවර්ධනය කිරීමට අප ගනු ලබන ප‍්‍රයත්නයන් හි වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම Eko Wave දියත් කිරීම හඳුන්වා දිය හැකියි. මෙවැනි හවුල්කාරීත්වයන් හරහා, අපි කසළ කළමනාකරණයට විසඳුම් ඉදිරිපත් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීමටත් ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳ සැලකිලිමත් වෙමින් ඒවාට විසඳුම් ලබා දීමටත් හැකි වෙනවා. විශේෂයෙන්ම වත්මන් ආර්ථික අර්බුදයේදී උදව් උපකාර අවශ්‍ය ප‍්‍රජාවන්ට සහාය වීමට, කසළ එකතු කරන්නන් සවිබල ගැන්වීමට සහ ඔවුන්ට ජීවත් වීමට අමතර ජීවනෝපායන් නිර්මාණය කිරීමට  අපි කැපවී සිටිනවා. මෙම ව්‍යාපෘතිය යතාර්ථයක් බවට පත් කිරීමට සහාය දුන් අපගේ හවුල්කරුවන්ට ස්තූති කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.”

    Eco Spindles Pvt. Ltd හි ප‍්‍රධාන විධායක නිලධාරී ප‍්‍රසන්ත මාලිම්බඩගේ මහතා පැවසුවේ, ”මෙම අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථාන විශේෂයෙන්ම කොළඹ නගරයේ විශාල ගැටළුවක්ව පවතින ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැටළුවට පුළුල් විසඳුම් බව අපි තරයේ විශ්වාස කරනවා. මසකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 400 කට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ හැකියාව සමඟින් සුපිරිසිදු, හරිතවත් හා තිරසාර ශ‍්‍රී ලංකාවක් කරා යන අපගේ පොදු අරමුණට සහාය දැක්වීමට මෙමගින් අපට වැඩි හැකියාවක් තිබෙනවා. තිරසාරභාවය සහ චක‍්‍රීය ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා වන අපගේ කැපවීම අනුව යමින් මෙම වැදගත් ව්‍යාපෘතියට සහාය දැක්වීමට හැකි වීම ගැන අපි ආඩම්බර වනවා.”

    Janathakshan GTE හි ප‍්‍රධාන විධායක නිලධාරී ජානක හේමතිලක මහතා පැවසුවේ ”මෙම මුලපිරීම මගින් එය දියත් කිරීමට මූලික වූ පාර්ශවයන්ට අමතරව වෙනත් අංශ සඳහා ද සුබවාදී ප‍්‍රතිලාභ අත් කරදෙයි. තවද මෙමගින් චක‍්‍රීය ආර්ථිකයට දායක වන අතරම ප‍්‍රධාන තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) වන වගකීම් සහගත නිෂ්පාදනය සහ පරිභෝජනය (SDG 12), දේශගුණික ක‍්‍රියාව (SDG 13) සහ ජලයෙන් පහළ ජීවය (SDG 14) යන්න සාක්ෂාත් කර ගැනීම සඳහා සිය දායකත්වය ලබා දෙයි.

    Eko Wave යනු Coca-Cola Foundation, Eco Spindles, සහ Janathakshan විසින් අනුග‍්‍රහය දක්වන ලද ‘ශ‍්‍රී ලංකාව තුළ වැඩිදියුණු කළ අපද්‍රව්‍ය කළමනාකරණය සහ PET ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය ඉහළ දැමීම සඳහා අවිධිමත් කසළ එකතු කරන්නන් ශක්තිමත් කිරීම’ යන ව්‍යාපෘතිය යටතේ ස්ථාපිත කරන ලද දෙවන MRF මධ්‍යස්ථානය වේ. දිවයින පුරා MRF පහසුකම් හයක් ස්ථාපිත කිරීම මගින් ප්ලාස්ටික් දුෂණය පිටු දැකීම සඳහා වන ඔවුන්ගේ ප‍්‍රයත්නයන් පාරිසරික තිරසාරභාවය සඳහා වන ඔවුන්ගේ කැපවීම මැනවින් පෙන්නුම් කරයි.