‘The Unlabelled Runway 2026’ විලාසිතාව හරහා සමාජ වෙනසකට මඟ පාදමින් සැමට එකම වේදිකාවක් නිර්මාණය කරයි

    September, 3, 2026

    ‘The Unlabelled Runway 2026’ විලාසිතා දැක්ම, සෑම පුද්ගලයෙකුගේම අනන්‍යතාව සහ සමාජ සහභාගීත්වය අගය කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කෙරුණු අතර, ඒ පිළිබඳ නිල මාධ්‍ය හමුව සැප්තැම්බර් 2 වන දින Cinnamon Lakeside Colombo හිදී පැවැත්විණි. මෙම සුවිශේෂී විලාසිතා දැක්ම 2026 සැප්තැම්බර් 25 වන දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිය.

    Caroline J Global Holdings විසින් ඉදිරිපත් කරනු ලබන ‘The Unlabelled Runway’ හි දෙවන අදියර, සාම්ප්‍රදායික විලාසිතා දැක්මක සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, විලාසිතාව පුද්ගල අත්දැකීම් සමඟ ඒකාබද්ධ කරමින් සමාජ නියෝජනය සහ ආත්මවිශ්වාසය ශක්තිමත් කිරීමට අරමුණු කර ඇත.

    මෙම සුවිශේෂී විලාසිතා දැක්ම සඳහා වෘත්තීය නිරූපණ ශිල්පීන්, විලාසිතා නිර්මාණකරුවන් සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් සමඟ තරුණ තරුණියන්, දෙමාපිය රැකවරණය අහිමි වූවන්, ආබාධ සහිත පුද්ගලයින්, පිළිකා රෝගීන් සහ පිළිකාවෙන් සුවය ලැබූවන් ඇතුළු විවිධ පසුබිම් නියෝජනය කරන පිරිසක් එකම වේදිකාවකට එක්වීමට නියමිතව තිබිණි. මෙම විවිධත්වය තුළින් පුද්ගලයින්ගේ හැකියාවන් සහ වටිනාකම් සීමා කරන සමාජ මතවාද සහ ‘ලේබල්’ අභියෝගයට ලක් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.

    ශ්‍රී ලංකාවේ ප්‍රජා සංවර්ධනය සහ සමාජ සුබසාධනය උදෙසා කැපවී සිටින SOS ළමා ගම්මාන ශ්‍රී ලංකා, ඉන්දිරා පිළිකා භාරය (Indira Cancer Trust), Child Action Lanka සහ රොෂාන් මහානාම භාරය යන සංවිධාන සමඟ අත්වැල් බැඳගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි. අවස්ථා නිර්මාණය කිරීම, අවදානමට ලක්වූ ප්‍රජාවන් සවිබලගැන්වීම සහ පූර්ණ සමාජ අන්තර්ග්‍රහණය උදෙසා වන පොදු අරමුණ වෙනුවෙන් මෙම සංවිධාන එක්ව කටයුතු කළහ.

    Caroline J Global Holdings හි නිර්මාතෘ සහ සභාපතිනී කැරොලින් ජූරි මහත්මිය අදහස් දක්වමින් සඳහන් කළේ, සෑම පුද්ගලයෙකුටම තම අනන්‍යතාව පිළිබඳ අභිමානයෙන් සහ ආත්මවිශ්වාසයෙන් යුතුව කටයුතු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ මූලික දැක්ම වූ බවයි.

    “විලාසිතාව යනු හුදෙක් බාහිර අලංකාරය ප්‍රදර්ශනය කිරීමට එහා ගිය දෙයක්. එමඟින් පුද්ගලයින්ට ආත්මවිශ්වාසය ගොඩනඟා ගැනීමටත්, සමාජ අවධානය දිනා ගැනීමටත්, අර්ථපූර්ණ සමාජ සංවාද ආරම්භ කිරීමටත් හැකියාව ලැබෙනවා. සමාජය විසින් පුද්ගලයින් මත පනවා ඇති සීමාසහිත ‘ලේබල්’ ඉවත් කරමින්, සෑම පුද්ගලයෙකුම සමාජයේ ඇගයීමට, ගෞරවයට සහ පිළිගැනීමට ලක්විය යුතු බව අවධාරණය කිරීම ‘The Unlabelled Runway’ හි ප්‍රධාන අරමුණයි,” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

    සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම විලාසිතා දැක්මට සමගාමීව, පියයුරු පිළිකා පිළිබඳ සමාජය දැනුවත් කිරීම සහ එම අභියෝගයට ධෛර්යයෙන් මුහුණ දුන් පුද්ගලයින්ගේ ආත්මශක්තිය ඇගයීම වෙනුවෙන් 'Pink Runway' නමැති විශේෂ අංගයක් ද ඇතුළත් කර තිබිණි. මේ සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්, වෘත්තීය නිරූපණ ශිල්පීන් සහ මෙම සමාජ සත්කාරයට සම්බන්ධ පාර්ශවකරුවන් රැසක් එක්වීමට නියමිතව තිබිණි.

    එමෙන්ම, දේශීය මෙන්ම ජාත්‍යන්තර විලාසිතා නිර්මාණකරුවන්ගේ දායකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ මෙම උත්සවය, ශ්‍රී ලාංකේය සහ ජාත්‍යන්තර නිර්මාණාත්මක කුසලතාවයන් හා අත්දැකීම් එකිනෙක හුවමාරු වන සුවිශේෂී සංස්කෘතික හා විලාසිතා දැක්මක් ලෙස සංවිධානය කර තිබිණි.

    ‘The Unlabelled Runway 2026’ විලාසිතා දැක්ම 2026 සැප්තැම්බර් 25 වන දින Cinnamon Lakeside Colombo හිදී පැවැත්වීමට නියමිතව තිබිණි. ප්‍රභූ පිළිගැනීමේ උත්සවයක් (VIP reception), ප්‍රධාන නිරූපණ දැක්ම සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් හමුවන සැඳෑ සාදයක් (cocktail networking experience) ඊට ඇතුළත් විය. මෙම උත්සවය සඳහා ප්‍රවේශ පත්‍ර PickMe App හි PickMe Explore හරහා පහසුවෙන් මිලදී ගැනීමට හැකි බවද එදින දැනුම් දෙන ලදී.

    මෙම මාධ්‍ය හමුවට සමගාමීව Caroline J Global Holdings හි නිල වෙබ් අඩවිය ද එළිදක්වන ලදී. Caroline J Global Holdings හි විලාසිතා, රූපලාවන්‍ය, කුසලතා කළමනාකරණය, උත්සව සංවිධානය සහ සමාජ සත්කාරක වැඩසටහන් ඇතුළු ප්‍රධාන ව්‍යාපාරික ක්‍රියාකාරකම් සහ ව්‍යාපෘති පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන ප්‍රධාන ඩිජිටල් වේදිකාවක් ලෙස මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක විය.

    ‘The Unlabelled Runway 2026’ සඳහා ජනමාධ්‍යවේදීන්, ආයතනික නායකයින්, විලාසිතා නිර්මාණකරුවන් සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් රැසක් සහභාගී වීමට නියමිතව තිබිණි. විලාසිතාව සහ මෙම යහපත් සමාජ අරමුණ එකම වේදිකාවකට ගෙන එන මෙම උත්සවය, ධනාත්මක සමාජ වෙනසක් සඳහා එක්වන සියලු දෙනාට සුවිශේෂී අත්දැකීමක් ලබාදීමට අරමුණු කර තිබිණි.