යෙන් මුදල කඩා වැටීමෙන් ජපන් කාර් මිල තව තවත් අඩුවෙයිද ?

    November, 25, 2014

    ජපාන යෙන් මුදල විශාල ලෙස අවප්‍රමාණය වීම නිසා මේ වනවිට ජපාන මෝටර් රථ ඇතුළුව ජපාන භාණ්ඩවල මිල අඩුවී තිබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විදෙස් මාධ්‍ය සමග සඳහන් කර තිබෙන්නේ මේ තුළින් ලංකාව ලබාගෙන තිබෙන යෙන් ණය මුදල්වල වාරික ගාස්තුව කෙටි කාලයක් සඳහා හෝ අඩුවීම වාසියක් බවයි.

    කෙසේවෙතත්, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව යෙන් මුදල අවප්‍රමාණය වීමෙන් ජපාන භාණ්ඩ වඩාත් තරගකාරීවීම ආසියාවේ මූල්‍ය පිළිවෙල වෙනස්වීමට හේතුවක් වනු ඇතැයි මෙහිදී අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කර ඇත.

    ජපාන මහ බැංකුව විසින් නව මූල්‍ය ක්‍රියාමාර්ග පසුගියදා ගත්දා පටන් මේ දක්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව යෙන් මුදල සියයට 4.7 කින් පමණ අවප්‍රමාණය වී තිබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා පවසා තිබෙන්නේ මෙවන් වාතාවරණයක් තුළ අනිකුත් රටවල්ද සිය මුදල් ඒකක අවප්‍රමාණය කිරීම කෙරෙහි යොමුවීමේ හැකියාවක් තිබෙන බවයි.

    රටක මුදල් ඒකකය අවප්‍රමාණය වනවිට එම රට විසින් නිපදවන භාණ්වල මිල සාපේක්ෂ වශයෙන් අඩුවීමෙන් අපනයන වෙළඳ පොළේදී වැඩි වාසියක් හිමිකර ගත හැකිය. චීනය විසින් දිගින් දිගටම එල්ලවන චෝදනා හමුවේත් යුවානය කෘත්‍රිම ලෙස අවප්‍රමාණය කරගෙන සිටින්නේ මේ නිසාය.

    වාර්තා වන ආකාරයට ජපාන යෙන් මුදල කැපීපෙනෙන ලෙස අවප්‍රමාණය වීම පිළිබඳව කළාපයේ රටවල් සිටින්නේ අකමැත්තකිනි.

    මේ අතර, වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග පැවසුවේ ජපානයෙන් මෙරටට ගෙන්වන හයිබ්‍රීඩ් මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ එකහමාරකින් පමණ අඩුවීමට යෙන් මුදල අවප්‍රමාණය වීම හේතුවී තිබෙන බවයි.

    මෙය අයවැය මගින් බදු අඩුකිරීම නිසා පාරිභෝගිකයින්ට ලැබුණු සහනයට වඩා වැඩි බවත් යෙන් මුදල තවදුරටත් අවප්‍රමාණය වුවහොත් ජපාන මෝටර් රථවල මිල තවත් අඩුවනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.