WCIC කාන්තා ව්‍යවසායකත්ව සම්මාන 2023

    November, 20, 2023

    ශ්‍රී ලංකාවේ සහ සාර්ක් කලාපයේ කැපී පෙනෙන කාන්තා ව්‍යවසායකයින් හඳුනා ගෙන ඔවුන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කෙරෙන ප්‍රධානතම වැඩසටහනක් වන  'WCIC ප්‍රතිභාභිෂේක' කාන්තා ව්‍යවසායක සම්මාන ප්‍රදානෝත්සවය 2023 වසර වෙනුවෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව  කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය නිවේදනය කරයි.

    පසුගිය වසර කිහිපය තුළ පැන නැඟුණු විවිධ අභියෝග මධ්‍යයේ නොසැලෙමින්, ඉදිරියට ම පා තැබූ   කාන්තා ව්‍යවසායකයින්ට, ජයග්‍රහණ පිළිබඳ කතාව බෙදා ගැනීමට එක් වන ලෙස  කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය ආරාධනය කෙරෙන අතර, 2023 වසර සඳහා වන ප්‍රතිභාභිෂේකා - කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල 2024 පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත ය. මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී කාන්තා ව්‍යවසායකයින්ගේ ව්‍යපාරවල  පරිමාණය, වර්ධනය සහ  ආර්ථිකයට එමඟින් ලැබෙන  දායකත්වය හා බලපෑම ආදී අංශ වෙනුවෙන් සම්මාන පිරිනැමීමට නියමිත ය.  මෙම තරගය මූලික වශයෙන් ශ්‍රී ලාංකේය කාන්තා ව්‍යවසායකයින් ඉලක්ක කර ගනිමින් සංවිධානය කෙරෙන අතර, සාර්ක් කලාපයේ කාන්තා ව්‍යවසායකයින්ට ද විශේෂ කාණ්ඩයක් යටතේ තරඟ කිරීමට අවස්ථාව සලසා දී ඇති බව කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපතිනි අනෝජි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.

    සංවිධායක කමිටුව වෙනුවෙන් අදහස් දැක්වූ සම සභාපතිනියන් වන නිලානි සෙනෙවිරත්න සහ ගයානි ද අල්විස්  යන මහත්මීන් ප්‍රකාශ කළේ, “ආරම්භක මට්ටමේ, ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ යන කාණ්ඩ යටතේ අපි අයදුම්පත් භාර ගැනීමට කටයුතු කරනවා.  සෑම කාණ්ඩයක ම ජයග්‍රාහිකාවන් තෝරා ගැනීමේ දී  සමාලෝචිත වර්ෂය වන 2022/23 වර්ෂය තුළ ව්‍යාපාරික වර්ධනය සහ ජයග්‍රහණ සලකා බැලීම සිදු කරනවා. ඒ වගේ ම සෑම අංශයක් සඳහා ම රන්, රිදී සහ ලෝකඩ සම්මාන පිරිනැමීමට නියමිතයි." යනුවෙනි.

    කලාපීය වශයෙන්  කාන්තා ව්‍යවසායකයින් හඳුනා ගෙන ඔවුන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී  පළාත් වශයෙන් ජයග්‍රාහිකාවන් තෝරා ගැනෙන අතර, තරුණ කාන්තා ව්‍යවසායකයා, විශිෂ්ට ආරම්භක මට්ටමේ ව්‍යවසායිකාව, වඩාත් ධෛර්යමත් කාන්තාව, වඩාත් කැපී පෙනෙන අපනයන නැඹුරු ව්‍යවසායිකාව (නිෂ්පාදන හා සේවා) සහ සාර්ක් කලාපයේ හොඳ ම ව්‍යවසායිකාව යනාදී අංශ සඳහා ද සම්මාන පිරිනැමෙයි. එමෙන් ම 2023 වසර සඳහා වසරේ ඩිජිටල් ව්‍යවසායිකාව, වඩාත් නව්‍යකරණය වූ ව්‍යවසාය සහ සාමාජීය ව්‍යවසායකයා ආදී වශයෙන් සම්මාන ලබා දෙන ක්ෂේත්‍ර පුළුල් කිරීමට ද  කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය කටයුතු කර ඇත.

    'වසරේ කාන්තා ව්‍යවසායිකාව - 2023'තේරීම

    " මෙම තරඟය සඳහා ඇතුළත් වීම්ට  www.wcicsl.lk වෙබ් අඩවියේ ඇති අයදුම්පත  බාගත කර, සම්පූර්ණ කිරීමෙන් අනතුරුව  අයදුම්කාරියගේ තොරතුරු  සනාථ කෙරෙන සියලු ලිය කියවිලි  සමඟ කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුයි.  අයදුම් පත් භාර ගැනීම 2023 දෙසැම්බර් 20 දිනෙන් අවසන් වන බවත් සිහිපත් කිරීමට කැමතියි” යනුවෙන්  ගයනි ද අල්විස් සහ නිලානි සෙනෙවිරත්න යන සම සභාපති වරියෝ සඳහන් කළහ.

    WCIC ප්‍රතිභාභිෂේකා කාන්තා ව්‍යවසායකත්ව සම්මාන 2023 සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකත්වය AIA Insurance Lanka සමාගම ලබා දෙන අතර, දියමන්ති අනුග්‍රාහකයා ලෙස DFCC ආලෝකා  (නිල බැංකු සහකරු) කටයුතු කරයි. එමෙන් ම මෙවර සම්මාන ප්‍රදානෝත්සවයේ රන් අනුග්‍රාහකයන්  ලෙස  McLarens Group හා MAS Holdings යන සමාගම් සහ ලෝකඩ අනුග්‍රාහකයන් ලෙස Hayleys, Causeway Paints Lanka, Imperial Teas, SLT-Mobitel (නිල සන්නිවේදන සහකරු), Dankotuwa Porcelain, DIMO සහ NIBM (නිල අධාපනික සහකරු) යන සමාගම් කටයුතු කරයි. ඊට අමතර ව මෙවර සම්මාන උළෙල සඳහා මුද්‍රණ සහ සමාජ මාධ්‍ය අනුග්‍රහය  විජය සමූහය සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය අනුග්‍රහය  සියත TV හ FM   ලබා දෙන අතර, එහි නිර්මාණාත්මක සහකරු ලෙස Triad සමාගම  සහ නිල දැනුම් සහකරු Ernst & Young ආයතනයත් කටයුතු කරයි.

    කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) යනු ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකයින්ට සහ වෘත්තීයමය ව්‍යාපාරික කාන්තාවන්ට සහාය දක්වන ප්‍රමුඛතම සංවිධානය වන අතර, එම සංවිධානය විසින් නිර්මාණය කරන වැඩසටහන්වලින් ප්‍රයෝජන ලබා ගනිමින් වර්ධනය වීම සඳහා කැමැත්තක් දක්වන කාන්තා ව්‍යවසායකයින්ට එහි සාමාජිකත්වය  විවෘත වේ.