ඇමරිකානු ස්ථීර පුරවැසියෙකු වෙන්න මෙන්න මග. ග්‍රීන් කාඩ් ඇරඹෙයි

    October, 1, 2014

    ග්‍රීන් කාඩ් ලොතරැයිය යනුවෙන් හඳුන්වන 2016 විවිධත්ව වීසා ලොතරැයි වැඩසටහනට 2014 ඔක්තෝම්බර් 01 වනදා සිට අයදුම්පත් භාරගන්නා බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය කියයි.

    මෙම වාර්ෂික වැඩසටහන මගින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල උපන් පුද්ගලයින්ට ඇමරිකාවට සංක්‍රමණික වීසා ලබාගැනීමේ සම්මුඛ පරීක්ෂණයට සහභාගිවීමේ අවස්ථාව ලබාදෙයි. මෙහිදී, සංක්‍රමණික වීසාවක් සඳහා සුදුසුකම් ලැබුවහොත් ඔවුන්ට ඇමරිකාවේ නීත්‍යාණුකූල ස්ථීර නේවාසිකයින් විය හැකිය.

    මේ සඳහා අයදුම් කළ හැකි වන්නේ 2014 ඔක්තෝම්බර් 01 වනදා සිට 2014 නොවැම්බර් 03 වැනිදා දක්වා කාල සීමාවේදී පමණක් වන අතර අයදුම් කළ හැක්කේ එක් වරක් පමණි.

    මෙහිදී, අධ්‍යාපනික සහ වැඩ පළපුරුද්ද පිළිබඳ සුදුසුකම් සපුරා තිබිය යුතු අතර අයදුම්පත ලබාදීමෙන් පසුව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය විසින් තහවුරු කිරීමේ අංකයක් ලබාදෙයි. සම්මුඛ පරීක්ෂණය සඳහා තෝරාගෙන ඇත්දැයි දැන ගැනීමට එම අංකය සුරක්ෂිතව තබා ගන්නා මෙන් තානාපති කාර්යාලය ඉල්ලා සිටී.

    මෙම වීසා වැඩසටහන පිළිබඳ තොරතුරු www.srilanka.usembassy.gov/visas/ diversity-visa-lottery-program.html යන වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි අතර www.dvlottery.state.gov වෙබ් අඩවියට පිවිස මේ සඳහා අයදුම් කළ හැකිය.

    2015 මැයි මාසයේ සිට අයදුම්කරුවන්ට www.dvlottery.state.gov වෙබ් අඩවියට පිවිස තමන් සම්මුඛ පරීක්ෂණ සඳහා තේරී ඇත්දැයි දැන ගැනීමට හැකිබව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.