header logo
Top News
පෝලන්තයෙන් සංචාරකයන් 550ක් රැගත් ගුවන් යානා තුනක් කටුනායකට
පෝලන්තයෙන් සංචාරකයන් 550ක් රැගත් ගුවන් යානා තුනක් කටුනායකට

යුරෝපයේ ශීත ඍතු සංචාරක සමය වෙනුවෙන් එන්ටර් එයාර් (Enter Air) ගුවන් ගමන් මාලාව ආරම්භ වෙයි

යුරෝපයේ ශීත ඍතු සංචාරක සමය ආරම්භ වීමත් සමඟ පෝලන්තයේ ප්‍රධාන නගර තුනක සිට සංචාරකයන් 550කට ආසන්න පිරිසක් රැගත් විශේෂ ගුවන් යානා තුනක් අද (06) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ තිබේ.

පෝලන්තයේ ප්‍රමුඛ පෙළේ ගුවන් සේවයක් වන එන්ටර් එයාර් (Enter Air) ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ ගුවන් යානා තුනක් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එය 2026/2027 ශීත ඍතු සංචාරක සමය වෙනුවෙන් පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට ආරම්භ කළ විශේෂ ගුවන් ගමන් මාලාවේ සමාරම්භය සනිටුහන් කරයි.

ඒ අනුව අද උදෑසන 6.51ට පෝලන්තයේ කැටොවිස් (Katowice) නගරයේ සිට ENT-7607 දරන ගුවන් යානයත්, උදෑසන 7.40ට පොස්නන් (Poznań) නගරයේ සිට ENT-1913 දරන ගුවන් යානයත් කටුනායකට පැමිණ තිබේ.

එමෙන්ම උදෑසන 9.40ට වෝර්සෝ (Warsaw) නගරයේ සිට ENT-1561 දරන තෙවන ගුවන් යානය ද කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇත.

මෙලෙස පැමිණි සංචාරකයන් පිළිගැනීම සඳහා ගුවන් තොටුපොළ පරිශ්‍රයේ විශේෂ පිළිගැනීමේ වැඩසටහනක් ද සංවිධානය කර තිබූ අතර, ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය විදහා දැක්වෙන සාම්ප්‍රදායික සංස්කෘතික අංගයන්ගෙන් ඔවුන් පිළිගැනීමට කටයුතු කර තිබේ.

මෙම ගුවන් ගමන් සේවාවන් අද සිට 2027 අප්‍රේල් මස 02 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, සෑම දින දහයකට වරක්ම පෝලන්තයේ එම නගර තුනේ සිට සංචාරකයන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.

ඒ අනුව අදාළ කාලසීමාව තුළ ගුවන් ගමන් වාර 42ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

පෝලන්ත සංචාරකයන් අතර ශ්‍රී ලංකාව ජනප්‍රිය නිවාඩු ගමනාන්තයක් බවට පත්ව ඇති අතර, මෙරට වෙරළ තීරයන්, ඓතිහාසික ස්ථාන, වනජීවී උද්‍යාන, කඳුකර ප්‍රදේශ සහ තේ වතු ආශ්‍රිත සංචාරක අත්දැකීම් ඔවුන්ගේ ආකර්ෂණයට හේතු වී තිබේ.

සිගිරිය, දඹුල්ල, මහනුවර, නුවරඑළිය සහ යාල වැනි ප්‍රදේශ විදේශීය සංචාරකයන් අතර ප්‍රසිද්ධ සංචාරක ගමනාන්ත ලෙස සැලකේ.

විශේෂයෙන් යුරෝපයේ ශීත කාලගුණය පවතින නොවැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට වැදගත් සමයක් වන අතර, එම කාලය තුළ යුරෝපීය සංචාරකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා මෙවැනි විශේෂ ගුවන් ගමන් සේවා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

මෙම සංචාරක පැමිණීම් හරහා මෙරට හෝටල් ක්ෂේත්‍රය, සංචාරක මඟපෙන්වීම් සේවා, ප්‍රවාහන සේවා, අවන්හල් සහ කුඩා පරිමාණ සංචාරක ව්‍යාපාර ඇතුළු ක්ෂේත්‍ර රැසකට ආර්ථික ප්‍රතිලාභ හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම විදේශ විනිමය ආදායම ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරක ගමනාන්තයක් ලෙස තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ද මෙම ගුවන් ගමන් මාලාව වැදගත් වනු ඇත.

පෝලන්තය සහ ශ්‍රී ලංකාව අතර ශීත ඍතු සංචාරක ගුවන් ගමන් සේවා වසර 15කට ආසන්න කාලයක සිට ක්‍රියාත්මක වන අතර, මෙවර ගුවන් ගමන් වාර 42ක් සැලසුම් කිරීමත් සමඟ දෙරට අතර සංචාරක සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

MostRead
VideoStories
TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%