
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ජාතික ප්‍රදර්ශනය වන 'ඉන්ෆොටෙල්' (Infotel) සමාරම්භක උළෙල අද (06) දින ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය. මෙවර 'ඉන්ෆොටෙල්' ප්‍රදර්ශනය "ඩිජිටල් ආර්ථිකය බලගැන්වීම " (Fuelling the Digital Economy) යන තේමාව යටතේ පැවැත්වේ.
1992 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉන්ෆොටෙල් ප්‍රදර්ශනය පවත්වන අවධියේ මෙරටට අන්තර්ජාල සම්බන්ධතා හෝ ස්ථිර අන්තර්ජාල සම්බන්ධතාවක් නොතිබූ බව සිහිපත් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, එදා යන්ත්‍ර දෙස බැලීමට පැමිණි ජනතාව අද වන විට ස්මාර්ට් ජංගම දුරකථන හරහා සියලු සේවාවන් ඇඟිලි තුඩුවලින් ඉටු කරගන්නා මට්ටමකට පැමිණ ඇති බව අවධාරණය කළේය. එහෙත් තාක්ෂණය තිබීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, "අපි තාක්ෂණයෙන් කුමක් කළ යුතුද?" යන ප්‍රශ්නයට පිළිතුරු සෙවිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
රජය විසින් ක්‍රියාත්මක කරන ලද සහ ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රධාන ඩිජිටල්කරණ වැඩසටහන් කිහිපයක් මෙහිදී අමාත්‍යවරයා විසින් විශේෂයෙන් සඳහන් කරන ලදී. විශේෂයෙන්ම රාජ්‍ය සේවාවන් ලබා ගැනීමට ජනතාව පෝලිම්වල ගත කරන කාලය වැළැක්වීම සඳහා රජය දැඩි අවධානයක් යොමු කර ඇති බවත්, සෑම පෝලිමක්ම පද්ධතියක අසමත්වීමක් (Bug Report) නියෝජනය කරන බව පෙන්වා දුන් ඔහු, පුරවැසියන්ට පෝලිම්වල ගත කිරීමට සිදුවීම මානව ශ්‍රමය අපතතේ යාමක් වන බව පෙන්වා දුන්නේය. එම නිසා, රාජ්‍ය සේවාවන් ජනතාවගේ දොරටුව වෙත ළඟා කර දීම රජයේ ප්‍රධාන අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා 'GovPay' වේදිකාව හරහා ආයතන 300 කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරක කාලය තුළ ඩිජිටල්කරණය කර ඇති අතර, රුපියල් බිලියන 7 කට වඩා වැඩි ගනුදෙනු ප්‍රමාණයක් එමඟින් සිදු කර ඇත. එසේම, රථවාහන දඩ මුදල් එම ස්ථානයේදීම ගෙවීමට පහසුකම් සලසා දී ඇත. ඊට අමතරව, ඉන්දියානු රජයේ සහයෝගය යටතේ ජාතික ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ කටයුතු සිදු කෙරෙමින් ඇති අතර, මේ වසර අවසන් වන විට පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත්, එමඟින් පුරවැසියන්ට ආරක්ෂිතව ඔන්ලයින් හරහා රාජ්‍ය සේවාවන් ලබා ගැනීමට හැකිවනු ඇති බවත් එතුමන් අවධාරණය කළේය.
ඩිජිටල් ගෙවීම් සහ LankaQR වැඩසටහන ප්‍රවර්ධනය කිරීම මඟින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට (MSMEs) මූල්‍ය ආයතනවලින් ණය පහසුකම් ලබා ගැනීමේදී ව්‍යාපාරික අදාළ ඩිජිටල් ගනුදෙනු වාර්තා ඇපයක් ලෙස භාවිතා කිරීමට හැකි වන බවත්, එයින් මෙරට මුදල් මත යැපෙන ආර්ථිකය වඩාත් විධිමත් කළ හැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා , තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ (FITIS) සභාපති ආචාර්ය දයාන් රාජපක්ෂ මහතා ; තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ (FITIS) ජ්‍යෙෂ්ඨ උප සභාපති , චන්න ද සිල්වා මහතා ; ඉන්ෆොටෙල් (INFOTEL) උප සභාපති තරික් සනූන් මහතා ; තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ (FITIS) හිටපු සභාපති ඉන්දික ද සොයිසා මහතා ; සහ ආයතනික අනුග්‍රාහකයන්, මාධ්‍ය හවුල්කරුවන් මෙන්ම තාක්ෂණික හවුල්කරුවන් නියෝජනය කරමින් සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.
















