header logo
Top News
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2027 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී 24.4%ක ඉහළ ආදායම් වර්ධනයක් සහ 44.3% ක ශක්තිමත් බදු පසු ලාභයක් වාර්තා කරයි
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2027 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී 24.4%ක ඉහළ ආදායම් වර්ධනයක් සහ 44.3% ක ශක්තිමත් බදු පසු ලාභයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී, 2026 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වූ මාස හය සඳහා (1HFY27) රු. බිලියන 40.2 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව 24.4% ක කැපී පෙනෙන වර්ධනයකි. සමූහයේ සමස්ත බදු පසු ලාභය (PAT) ද පසුගිය වසරට සාපේක්ෂව 44.3% කින් ඉහළ ගොස් රු. බිලියන 3.7 ක් බවට පත්ව ඇත. මෙයට සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන සමූහයේ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික අංශවල ශක්තිමත් බව හා ඔරොත්තු දීමේ හැකියාව ප්‍රධාන වශයෙන් හේතු විය.

සමූහයේ සමස්ත ආදායමට සුව සේවා අංශයේ කැපී පෙනෙන දායකත්වය හේතු වූ අතර එය මුළු ආදායමෙන් 49% කි. මේ අතර පාරිභෝගික අංශය 37% ක් ද කෘෂි ව්‍යාපාර අංශය 14% ක් ද වශයෙන් පිළිවෙලින් සමූහයේ මුළු ආදායමට දායක වී ඇත. පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සමූහයේ දළ ලාභය 11.7% කින් රු. බිලියන 11.5 ක් දක්වා වර්ධනය වී ඇති අතර, දළ ලාභ ආන්තිකය 28.7% ක මට්ටමක පැවතුණි. පසුගිය වසරේ එම කාල සීමාව තුළ 31.9% ක් ලෙස වාර්තා වූ දළ ලාභාන්තිකය පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ සුව සේවා අංශය මුහුණ දුන් ඖෂධ මිල සම්බන්ධ බලපෑම් සහ රුපියලේ අගය පහත වැටීමයි.

සමූහයේ මෙහෙයුම් ලාභය (EBIT) පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 10.5% කින් රුපියල් බිලියන 6.1 ක් දක්වා වර්ධනය වී ඇති අතර, එහි මෙහෙයුම් ලාභාන්තිකය 1HFY26 කාලසීමාවේදී වාර්තා කළ 17.0% ට සාපේක්ෂව 15.1% ක් ලෙස සනිටුහන් විය. ශුද්ධ මූල්‍ය ආදායම වැඩි වීම සහ සමූහය තම බදු පෙර ලාභයෙන් අඩු ප්‍රතිශතයක් ආයතනික ආදායම් බදු ලෙස ගෙවීම සමූහයේ ලාභදායීත්වය ශක්තිමත් කිරීමට දායක වූ අතර, ඒ හේතුවෙන් බදු පසු ලාභ ආන්තිකය පසුගිය වසරේ පැවති 8.0% සිට 9.2% දක්වා වර්ධනය විය. මීට අමතරව, දෙවන කාර්තුවේදී සමූහය වඩාත් ස්ථාවර මූල්‍ය වර්ධනයක් පෙන්නුම් කළ අතර, එහිදී ආදායම පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව 32.0% කින් ඉහළ ගොස් රු. බිලියන 21.6 ක් විය. එමෙන්ම බදු පසු ලාභය 82.4% ක කැපී පෙනෙන වර්ධනයක් සමඟින් රු. බිලියන 2.3 ක් බවට පත්ව ඇත.

සමූහයේ මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා සඳහන් කළේ “අපගේ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ආකෘතියේ ඇති ශක්තිමත් බව මෙන්ම, ප්‍රධාන ව්‍යාපාරික අංශයන් පුරාම අඛණ්ඩ වර්ධනයක් ළඟා කර ගැනීමට අපට ඇති හැකියාව මෙම පළමු අර්ධයේ මූල්‍ය ප්‍රතිඵලවලින් මනාව පෙන්නුම් කරනවා. මිල පාලන රෙගුලාසි සහ විදේශ විනිමය උච්චාවචනයන් අපගේ ලාභාන්තිකයන් කෙරෙහි අඛණ්ඩව බලපෑම් එල්ල කළද, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ උපායමාර්ගික ව්‍යාපාරික ව්‍යාප්තිය කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කිරීමට අපට හැකි වුණා. දේශීය ඖෂධ නිෂ්පාදනය, ඩිජිටල් සුව සේවා සහ අපනයන ඉලක්ක කරගත් ව්‍යාපාර වෙනුවෙන් අප සිදුකර ඇති ආයෝජන, අපගේ දිගුකාලීන තරඟකාරීත්වය ශක්තිමත් කිරීම සඳහා තැබූ වැදගත් පියවරයන් වනවා. කොටස්කරුවන් ඇතුළු සියලුම පාර්ශවකරුවන්ට තිරසාර වටිනාකමක් ලබා දීම වෙනුවෙන් මෙන්ම ශක්තිමත් ව්‍යාපාර ගොඩනැඟීමට අප අඛණ්ඩව කැපවී සිටිනවා.” යනුවෙනි.

සුව සේවා අංශය

සමූහයේ සුව සේවා අංශය 2027 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී රු. බිලියන 19.6 ක ආදායමක් වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව 13.3% ක වර්ධනයකි. දෙවන කාර්තුවේදී මෙම අංශයේ වර්ධනය තවදුරටත් ඉහළ යමින් සමූහයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 20.5% කින් ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, ඖෂධ මිල පාලන රෙගුලාසි සහ ආනයනික නිෂ්පාදන කෙරෙහි රුපියලේ අගය පහත වැටීමේ බලපෑම හේතුවෙන්, සුව සේවා අංශයේ මෙහෙයුම් ලාභාන්තිකය 1HFY26 දී පැවති 13.1% සිට 11.2% දක්වා පහත වැටුණි. ප්‍රධාන වශයෙන් මෙහෙයුම් ආකෘතියේ වෙනස් වීම්, ඇතැම් ප්‍රධාන සැපයුම්කරුවන්ගෙන් ලැබුණු නිෂ්පාදන තොග අවම වීම සහ නියාමන බලපෑම් මත ඇති වූ තොග හිඟය හේතුවෙන්, ඖෂධ බෙදාහැරීමේ අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 24.0% කින් පහත වැටුණි. මේ අතර, වෛද්‍ය උපකරණ (Medical Devices) සහ Healthguard Distribution යන අංශ පිළිවෙළින් 19.9% ක සහ 4.1% ක ආදායම් වර්ධනයක් වාර්තා කළ අතර, හෙල්ත්ගාර්ඩ් ෆාමසි ජාලයේ ආදායම ස්ථාවර මට්ටමක පැවතුණි. රජයේ ඖෂධ සැපයුම් ඇණවුම් නියමිත පරිදි ලබා දීමට හැකි වීම හේතුවෙන්, සමූහයේ ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය වන ලීනා මැනුෆැක්චරින් පුද්ගලික සමාගම පසුගිය වසරට සාපේක්ෂව 35.1% ක ඉහළ ආදායම් වර්ධනයක් අත්කර ගනිමින් කැපී පෙනෙන කාර්යසාධනයක් පෙන්නුම් කළේය.

මෙම කාලසීමාව තුළදී, සන්ෂයින් හෝල්ඩින්ග්ස් ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන Zydus Lifesciences Limited සමඟ ව්‍යාපාරික සහයෝගීතාවයකට එළඹෙමින්, දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා වන සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කර ඇත. මෙම සහයෝගීතාවය හරහා ජාත්‍යන්තර නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුකූලව පෙති සහ කරල් වැනි ඖෂධ නිෂ්පාදනය කෙරෙන නවීනතම කර්මාන්තශාලාවක් හොරණ අපනයන සැකසුම් කලාපය තුළ ස්ථාපිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමකට අත්සන් තබා ඇත.

සුව සේවා අංශයේ ආයෝජන තවදුරටත් ශක්තිමත් කරමින්, සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා විසින් ‘Doc990’ සේවාව සපයනු ලබනු Digital Health (පුද්) සමාගමේ 21.92% ක කොටස් ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇත. මෙම ආයෝජනය සිදුවූයේ සලකා බලනු ලබන කාලපරිච්ඡේදයට පසුව, 2026 ඔක්තෝබර් මාසයේදීය. මෙම උපායමාර්ගික ආයෝජනය හරහා සමූහය සතු වත්මන් ඖෂධ බෙදාහැරීම්, නිෂ්පාදන සහ පාරිභෝගික වෙළඳ මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කරමින් ඩිජිටල් සුව සේවා අංශය තුළ සිය පැවැත්ම පුළුල් කිරීමට සන්ෂයින් සමූහයට හැකියාව ලැබෙනු ඇත.

පාරිභෝගික අංශය

ප්‍රධාන වශයෙන් JAPC අත්පත් කරගැනීම සහ තේ අපනයන ව්‍යාපාරය අත්කරගත් ප්‍රගතිය හේතුවෙන්, පාරිභෝගික අංශය 1HFY27 කාලසීමාව තුළ රු- බිලියන 15.0 ක ආදායමක් වාර්තා කර ඇත. මෙය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 53.5% ක ඉහළ ආදායම් වර්ධනයකි. කෙසේ වෙතත්, JAPC සමාගම අමතරව පාරිභෝගික අංශය පමණක් සලකා බැලීමේදී, සන්නාමගත තේ කාණ්ඩයේ සහ තේ අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනය හේතුවෙන් එම අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 13.0% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. මීට අමතරව, පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේදයේ වාර්තා කළ 7.8% ක් වූ පාරිභෝගික අංශයේ මෙහෙයුම් (EBIT) ලාභාන්තිකය පළමු අර්ධයේදී 8.0% ක් දක්වා සුළු වශයෙන් වර්ධනය වී ඇත.

Watawala තේ සන්නාමය පෙන්වූ ඉහළ කාර්යසාධනය හේතුවෙන් සන්නාමගත තේ ව්‍යාපාරයේ ආදායම පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 5.6% ක වර්ධනයක් වාර්තා කළේය. මේ අතර, දැඩි තරඟකාරීත්වයක් පවතින ප්‍රිමියම් තේ කාණ්ඩය තුළ Zesta සන්නාමය ද සිය වෙළෙඳපොළ ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට සමත් විය. මේ අතර, රසකැවිලි ව්‍යාපාරයේ ටොෆි සහ කැන්ඩි නිෂ්පාදන කාණ්ඩවල විකුණුම් පහත වැටුණද, චුයින්ගම් සහ වේෆර් නිෂ්පාදන පෙළෙහි අත්කරගත් ප්‍රගතිය හේතුවෙන් එම අංශයේ සමස්ත ආදායම පසුගිය වසරට සාපේක්ෂව 2.2% ක වර්ධනයක් සනිටුහන් කළේය.

1HFY27 කාලසීමාව තුළ තේ අපනයන ව්‍යාපාරය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 25.4% ක ආදායම් වර්ධනයක් පෙන්නුම් කර ඇත. ප්‍රධාන පාරිභෝගිකයින්ගෙන් ලැබුණු අතිරේක ඇණවුම් සහ අගය එකතු කළ තේ නිෂ්පාදන සඳහා පැවති ඉහළ ඉල්ලුම හේතුවෙන් දෙවන කාර්තුවේදී පමණක් එහි ආදායම පසුගිය වසරට සාපේක්ෂව 60.9% ක කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගත්තේය.
මේ අතර, ප්‍රධාන නිෂ්පාදන කාණ්ඩ සඳහා පැවති ඉහළ ඉල්ලුම හේතුවෙන් JAPC හි කුළුබඩු අපනයන ආදායම ද 28.6% කින් වර්ධනය වී ඇත. JAPC සමාගම සමූහයට එක්කර ගැනීමත් සමඟ පාරිභෝගික අංශයේ අපනයන ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් වූ අතර, එමඟින් ජාත්‍යන්තර කුළුබඩු අපනයන වෙළෙඳපොළ තුළ සන්ෂයින් සමූහයේ පැවැත්ම තවදුරටත් පුළුල් විය.

කෘෂි ව්‍යාපාර අංශය

වටවල වැවිලි සමාගම නියෝජනය කරන සමූහයේ කෘෂි ව්‍යාපාර අංශය, ප්‍රධාන වශයෙන් පාම් ඔයිල් ව්‍යාපාරයේ අත්කරගත් ප්‍රගතිය හේතුවෙන් 1HFY27 කාලසීමාව තුළ රු. බිලියන 5.6 ක ආදායමක් වාර්තා කර ඇත. මෙය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 7.2% ක වර්ධනයකි.

Own-crop production ඉහළ යාමේ සහාය මත පාම් ඔයිල් ව්‍යාපාරයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 9.1% කින් ඉහළ ගොස් රු. බිලියන 5.0 ක් ලෙස සනිටුහන් විය. කෙසේ වෙතත්, බාහිරින් මිලදී ගත් අස්වැන්න (Bought-crop) අඩු වීම සහ තෙල් නිස්සාරණ අනුපාතයන් පහත වැටීම හේතුවෙන්, දෙවන කාර්තුව තුළදී මෙම වර්ධන වේගය යම් මට්ටමක මන්දගාමීත්වයක් පෙන්නුම් කළේය.

කිරි නිෂ්පාදන ව්‍යාපාරය රු. මිලියන 561.1 ක ආදායමක් වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2.9% ක සුළු පහත වැටීමකි. කිරි විකුණුම් ප්‍රමාණයන් පහත වැටීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූ නමුත් නිෂ්පාදන අලෙවි මිල ඉහළ මට්ටමක පැවතීම නිසා එම බලපෑම යම් දුරකට මඟහරවා ගැනීමට හැකි විය. අපජල කළමනාකරණ පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙම ව්‍යාපාරය අඛණ්ඩව අභියෝගවලට මුහුණ දුන්නද, දෙවන කාර්තුව තුළදී එහි මෙහෙයුම් කාර්යසාධනය කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය. මේ අතර, පාම් ඔයිල් ව්‍යාපාරයේ මෙහෙයුම් පිරිවැය ඉහළ යාම හේතුවෙන්, කෘෂි ව්‍යාපාර අංශයේ EBIT 
ලාභාන්තිකය පසුගිය වසරේ පැවති 49.1% ට සාපේක්ෂව මෙම පළමු අර්ධය තුළදී 47.8% ක් ලෙස සනිටුහන් විය.

අදාල කාල පරිච්ඡේදයේදී සන්ෂයින් හෝල්ඩින්ග්ස්, සමාගම Sunshine Wilmar (පුද්) සමාගම හරහා වටවල වැවිලි සමාගම සතු සිය කොටස් හිමිකාරීත්වය 77.02% ක් දක්වා ඉහළ නංවා ගැනීමට කටයුතු කර ඇත. මීට අමතරව, වටවල වැවිලි සමාගම විසින් ලොනාක් ඩේරි සමාගමෙහි පැවති ඉතිරි කොටස් හිමිකාරීත්වය ද අත්පත් කරගන්නා ලදී. ඒ සමඟම ලොනාක් ඩේරි සමාගම, වටවල වැවිලි සමාගමට සම්පූර්ණයෙන්ම අයත් සමාගමක් බවට පත් විය.
 

MostRead
VideoStories
BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%