
ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණයෙන් විවිධත්වයකින් සමන්විත වීම මෙරට සංචාරක ව්‍යාපාරයේ ඇති වැදගත්ම සහ ප්රබලතම විභවතාවය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද (12) 2027 අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
තව ද සංචාරක ව්‍යාපාරය මෙරට ආර්ථිකය සක්‍රීය කරන විදේශ විනිමය උපයන සහ රැකියා උත්පාදනය කරන ප්‍රධානතම ක්ෂේත්රයක් බවත්, මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට සංචාරකයින්ගේ පැමිණීමෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 2,245 ක් බවත් ජනපතිවරයා එහිදදී පවසා සිටියේ ය.
එබැවින් සංචාරක ව්‍යාපාරය මඟින් ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීමටත්, රැකියා උත්පාදනය කිරීමටත් මෙවර අයවරය හරහා අවධානය යොමුකර ඇත.
"සිංහරාජ සදාහරිත වර්ෂා වනාන්තරය කේන්ද්‍ර කරගනිමින්, දකුණු සහ සබරගමුව පළාත්වල ගාල්ල, මාතර හා රත්නපුර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක Southern Mist Triangle ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කර එය තවදුරටත් ශක්තිමත් කිරීමට රු. මිලියන 300 ක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අරමුදල්වලින් යොදවනවා."
"ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ෂණ ස්ථාන ආවරණය වන මධ්‍යගත මාර්ගගත ඊ-ටිකට්පත් පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් සපයනු ලබන රු. මිලියන 133 ක ප්‍රාග්ධන දායකත්වයට අමතරව රු. මිලියන 35 ක් වෙන් කර තිබෙනවා."
"ලෝක බැංකු මූල්‍ය සහාය ඇතිව ඩොලර් මිලියන 77 ක පිරිවැයකින්, කොළඹ කොටුව ආශ්‍රිතව පිහිටි ඓතිහාසික හා පෞරාණික ගොඩනැඟිලි ඒවායේ ඓතිහාසික වටිනාකම් ආරක්ෂා වන පරිදි ප්‍රතිසංස්කරණය කර සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කරනවා."
"පොළොන්නරුවේ පිහිටි ඉන්දියානු ආධාර සහිත ත්‍රෛ-භාෂා පාසල් පරිශ්‍රය, ඉගැන්වීම ඇතුළත්ව හෝටල පාසල බවට සංවර්ධනය කිරීමට හා පින්නවල සංවර්ධනය කිරීමට සඳහා රු. මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා."
"යාපනය, මන්නාරම, කල්පිටිය සහ මඩකලපුව යන ප්‍රදේශවල පිහිටි ඓතිහාසික ලන්දේසි බලකොටු, සංචාරක සංවර්ධන කේන්ද්‍රස්ථාන බවට ඓතිහාසික උරුමයන්හි පෞරාණික වටිනාකම සහ සංරක්ෂණය තහවුරු කරමින් රාජ්‍ය–පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) යටතේ ප්‍රවර්ධනය කරනවා. ඒ සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සතු ඌන උපයෝජිත අරමුදල්වලින් රු. මිලියන 240 ක් යෙදවීමට අපේක්ෂා කරනවා."
"සාගර සංචාරක කර්මාන්තය (Marine Tourism) ප්‍රවර්ධනය කිරීම සඳහා සංචාරක සේවා සපයන්නන්ට බෝට්ටු ඇතුළු අවශ්‍ය උපකරණ ලබාගැනීම සඳහා සහනශීලී ණය යෝජනා ක්‍රමයක් සඳහා ණය යෝජනා ක්‍රමයකට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සතු අරමුදල්වලින් රු. මිලියන 500 ක් යෙදවීමට අපේක්ෂා කරනවා."
"කොළඹ වරායේ, සංචාරක නෞකා සංචාර (Cruise Tourism) මගී පර්යන්තයක් ස්ථාපිත කරනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සතු අරමුදල්වලින් ගාල්ල, තංගල්ල සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල මගී පර්යන්ත සේවා පහසුකම් නවීකරණය කිරීම සහ සංචාරකයන්ට සපයන සේවා පුළුල් කිරීමට රු. මිලියන 240 ක මූල්යනයක් කරනවා."
"ශ්‍රී ලංකාව ආරක්ෂිත සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා සංචාරක පොලිස් සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරනවා. විශේෂිත පුහුණුවක් ලබාදීම, බහුභාෂා හැකියාවන් සහිත නිලධාරීන් යෙදවීම, ප්‍රධාන සංචාරක ස්ථාන ආශ්‍රිතව විශේෂ මුර සංචාර ඒකක පිහිටුවීම සහ පැය 24 පුරා ක්‍රියාත්මක වන සංචාරක හදිසි දුරකථන ඇමතුම් සේවාවක් හා ජංගම යෙදුමක් හඳුන්වාදීම මඟින් සංචාරකයන්ට කඩිනම් සහ කාර්යක්ෂම ආරක්ෂක සේවාවක් සැලසීමට යෝජනා කරනවා."



















