header logo

Daily Exchange Rates

Nov 13, 2026
Top News
කාබන් විමෝචනය අවම කිරීමේ අභියෝගයට ශ්‍රී ලංකාවේ කර්මාන්ත සූදානම්ද ?
කාබන් විමෝචනය අවම කිරීමේ අභියෝගයට ශ්‍රී ලංකාවේ කර්මාන්ත සූදානම්ද ?

කාබන් විමෝචන අවම කරමින් , චක්‍රීය ආර්ථිකය සහ ශුන්‍ය අපද්‍රව්‍ය සංකල්ප ඔස්සේ ශ්‍රී ලංකාව තුල ආයෝජනය කරන ලෙස  දේශීය හා විදේශීය ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටින බව  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලේ පරිසර කළමනාකරන අධ්‍යක්ෂ අසංක වෙලගෙදර මහතා පවසයි. තුර්කියේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායමට එක්වෙමින් වෙලගෙදර මහතා මෙසේ ඉල්ලා සිටියේය.

වර්තමානය වන විට දේශගුණික විපර්යාස ජාත්‍යන්තර වෙළෙඳාම, ආයෝජන තීරණ සහ ආර්ථික තරගකාරීත්වය තීරණය කරන ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබෙනවා. කාර්මික කාබන් විමෝචන අවම කිරීම හුදෙක් නීතිරීතිවලට අනුකූල වීමේ වගකීමක් ලෙස නොසැලකිය යුතුයි. එය ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන සහ විදේශ ආයෝජන ප්‍රවර්ධන උපායමාර්ගවල අනිවාර්ය අංගයක් බවට පත්වී තිබෙනවා  යනුවෙන් වෙලගෙදර මහතා තව දුරටත් පැවසීය.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය යටතේ පැවැත්වෙන 31 වැනි පාර්ශ්වකරුවන්ගේ සමුළුව (COP31) සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ද සහභාගි විය.මෙරට කාර්මික ක්ෂේත්‍රය කාබන් විමෝචනය අවම කරන අතරම සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම, අපනයන ආදායම ඉහළ නැංවීම සහ රැකියා අවස්ථා උත්පාදනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ජාත්‍යන්තර අවධානය මෙහිදී  යොමු කර ඇත.

2026 නොවැම්බර් 9 සිට 20 දක්වා තුර්කියේ ඇන්ටාලියා නගරයේ පැවැත්වෙන මෙම සමුළුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නියෝජනය කරන්නේ අධ්‍යක්ෂ (පරිසර කළමනාකරණ) අසංක වෙලගෙදර මහතාය. කාර්මික සංවර්ධනය සහ පාරිසරික තිරසාරභාවය එකිනෙකට අනුපූරක වන ආකාරයෙන් ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ආකර්ෂණය කරගත හැකි ආකාරය පිළිබඳව ඒ මහතා මෙහිදී දීර්ග ලෙස කරුණු ඉදිරිපත් කරයි.

දේශගුණික අභියෝග හමුවේ තිරසාර ආර්ථිකයක් ගොඩනැගීම

COP31 සමුළුවේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක 1.5කට සීමා කිරීම, දේශගුණික විපර්යාසවල බලපෑමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අනුවර්තන හැකියාව ශක්තිමත් කිරීම සහ 2050 වන විට ශුද්ධ ශූන්‍ය හරිතාගාර වායු විමෝචන තත්ත්වය ළඟා කර ගැනීම කෙරෙහිය. ඒ සඳහා ව්‍යාපාරික නායකයන්, විද්‍යාඥයන් සහ සිවිල් සමාජය ඇතුළු සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වය ද අවධාරණය කෙරේ.

එමෙන්ම, 2026 නොවැම්බර් 12 වැනිදා දේශගුණික ක්‍රියාකාරීත්වය වෙනුවෙන් නායකත්වය සපයන රාජ්‍ය නොවන පාර්ශව හඳුනාගෙන ඇගයීම සඳහා වන ශුද්ධ ශූන්‍ය පිළිගැනීමේ රාමුව (Net-Zero Recognition Framework) දියත් කිරීම ද මෙම සතියේ සිදු විය. සමාගම්, මූල්‍ය ආයතන, නගර සහ කලාප ඇතුළු රාජ්‍ය නොවන පාර්ශ්වයන්ගේ දේශගුණික නායකත්වය මෙමඟින් ඇගයීමට ලක් කෙරේ.

මෙම පසුබිම තුළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අවධාරණය කරන්නේ තිරසාරභාවය යනු තවදුරටත් පාරිසරික කරුණකට පමණක් සීමා වූවක් නොවන බවයි. එය ජාත්‍යන්තර වෙළෙඳාම, ආයෝජන තීරණ, කාර්මික ඵලදායිතාව සහ රටක ආර්ථික තරගකාරීත්වය තීරණය කරන ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබේ.

පාරිසරික වගකීම ව්‍යාපාරික තරගකාරීත්වයේ වාසියක් කරගැනීම

ගෝලීය වෙළෙඳපොළ තුළ නිෂ්පාදිත භාණ්ඩවල කාබන් පියසටහන (Carbon Footprint) පිළිබඳ අවධානය වේගයෙන් ඉහළ යමින් පවතී. යුරෝපා සංගමයේ කාබන් දේශසීමා ගැළපුම් යාන්ත්‍රණය (Carbon Border Adjustment Mechanism - CBAM), පුළුල් වෙමින් පවතින තිරසාරභාවය පිළිබඳ වාර්තාකරණ අවශ්‍යතා සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන්ගේ ඉහළ යන අපේක්ෂාවන් හේතුවෙන් අඩු කාබන් විමෝචනයක් සහිත නිෂ්පාදන ක්‍රියාවලීන්, වගකීම්සහගත සම්පත් කළමනාකරණය සහ විශ්වසනීය පාරිසරික කාර්යසාධනය ව්‍යාපාරික වශයෙන් සැලකිය යුතු වාසි බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් දිරිගන්වනසුලු ප්‍රගතියක් අත්කරගෙන තිබේ. ප්‍රමුඛ අපනයන කර්මාන්ත කිහිපයක් දැනටමත් පුනර්ජනනීය බලශක්තිය, පිරිසිදු නිෂ්පාදන ක්‍රමවේද, අපජලය ප්‍රතිචක්‍රීකරණය, බලශක්ති කාර්යක්ෂම තාක්ෂණය සහ පාරිසරික කළමනාකරණ පද්ධති භාවිතයට ගෙන ඇත.

කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලියට සූදානම් වීමේ මට්ටම සියලු කර්මාන්ත අතර එක හා සමාන නොවේ. විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට හරිත මූල්‍ය පහසුකම්, නවීන තාක්ෂණය, තාක්ෂණික විශේෂඥ දැනුම සහ විශ්වසනීය කාබන් ගිණුම්කරණ පද්ධති වෙත ප්‍රවේශ වීමේදී විවිධ බාධා පවතී.

ශ්‍රී ලංකාවේ තුන්වන ජාතික දේශගුණික ක්‍රියාකාරී සැලසුමේ ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වය (NDC 3.0) යටතේ 2026–2035 කාලසීමාව තුළ, සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු අඛණ්ඩව සිදුවන්නේ නම් අපේක්ෂිත හරිතාගාර වායු විමෝචන මට්ටමට සාපේක්ෂව සියයට 20.09ක විමෝචන අඩු කිරීමක් ඉලක්ක කර ඇත. කාර්මික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, චක්‍රීය ආර්ථිකය සංවර්ධනය කිරීම සහ පරිසර හිතකාමී කාර්මික උද්‍යාන ස්ථාපිත කිරීම මෙම පරිවර්තනයේ වැදගත් අංග ලෙස හඳුනාගෙන තිබේ.

සාම්ප්‍රදායික කාර්මික කලාප වෙනුවට අඩු කාබන් විමෝචන සහිත හරිත කාර්මික පරිසර පද්ධති

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දකින පරිදි, මෙරට කාර්මික කලාපවල සංවර්ධනය නව අදියරකට ගෙන යාමට මෙය වැදගත් අවස්ථාවකි.

ඒ අනුව, කර්මාන්ත සඳහා ඉඩම්, විදුලිය, ජලය සහ අපජල පිරිපහදු පහසුකම් සැපයීමෙන් ඔබ්බට ගොස්, බුද්ධිමත්, ඒකාබද්ධ, සම්පත් කාර්යක්ෂම සහ අඩු කාබන් විමෝචන සහිත කාර්මික පරිසර පද්ධති බවට පවතින කාර්මික කලාප පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පෙන්වා දෙයි.

මේ සඳහා පරිසර හිතකාමී කාර්මික උද්‍යාන (Eco-Industrial Parks) සංකල්පය සහ කාර්මික සහජීවනය (Industrial Symbiosis) යන මූලධර්ම වැදගත් වේ.

 

කාර්මික සහජීවනය යනු එක් කර්මාන්ත ශාලාවකින් ඉවතලන අපද්‍රව්‍ය, නැවත ලබාගත් බලශක්තිය හෝ පිරිපහදු කළ අපජලය තවත් කර්මාන්ත ශාලාවක නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ප්‍රයෝජනවත් සම්පතක් ලෙස භාවිත කිරීමයි. මෙමඟින් සම්පත් නාස්තිය අවම කරමින් නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් පාරිසරික බලපෑම් අවම කිරීමටත් හැකි වේ.

මේ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය හඳුනාගෙන ඇති ප්‍රධාන අවස්ථා කිහිපයක් මෙසේය.

- සීතාවක අපනයන සැකසුම් කලාපය: ඒකාබද්ධ සම්පත් කළමනාකරණය, පොදු අපජල පිරිපහදු පහසුකම් වැඩිදියුණු කිරීම, පාරිසරික අධීක්ෂණය සහ කාර්මික සහජීවනය සඳහා වැඩි අවස්ථා පවතී.

- අපජල හා රොන්මඩ කළමනාකරණය: කර්මාන්තවලින් බැහැර කරන අපජලය තත්කාලීනව අධීක්ෂණය කිරීම සහ අපජල හා රොන්මඩ කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා ආයෝජන මණ්ඩලය ගෙන යන වැඩපිළිවෙළ, පාරිසරික කාර්යසාධනය ඉහළ නැංවීමට සහ අනාගතයේදී අපද්‍රව්‍යවලින් නැවත ප්‍රයෝජනවත් සම්පත් ලබාගැනීමට පදනම සකසයි.

- නව කාර්මික කලාප: සැලසුම් කිරීමේ ආරම්භක අදියරේ සිටම පුනර්ජනනීය බලශක්තිය, අපජලය ප්‍රතිචක්‍රීකරණය, තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන යටිතල පහසුකම් ඒකාබද්ධ කිරීම යෝජනා කර ඇත.

- හරිත ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන: පිරිසිදු බලශක්තිය, චක්‍රීය ආර්ථික තාක්ෂණය, කාර්මික සම්පත් නැවත ලබාගැනීම, අඩු කාබන් විමෝචන සහිත නිෂ්පාදන කර්මාන්ත සහ පාරිසරික යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල ජාත්‍යන්තර ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම මෙහි අරමුණයි.

“ශ්‍රී ලංකාවට ප්‍රවර්ධනය කළ හැක්කේ හුදෙක් කර්මාන්ත සඳහා ඉඩම් පමණක් නොවෙයි. නැගී එන ගෝලීය ආයෝජන අපේක්ෂාවන් සපුරාලිය හැකි තිරසාර කාර්මික පරිසර පද්ධතියක් ද අපට ඉදිරිපත් කළ හැකියි,” යනුවෙන් වෙලගෙදර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

තිරසාර ආයෝජකයන්ට නව ආයෝජන අවස්ථා රැසක්

COP31 සමුළුව ශ්‍රී ලංකාවට නව තාක්ෂණ සැපයුම්කරුවන්, දේශගුණික මූල්‍ය ආයතන, සංවර්ධන හවුල්කරුවන් සහ තිරසාර ආයෝජකයන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට වැදගත් ජාත්‍යන්තර වේදිකාවක් සපයයි.

මෙහිදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අවධානය යොමු කර ඇති ප්‍රධාන ආයෝජන අවස්ථා වන්නේ,

1.            කාර්මික කලාප තුළ පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපිත කිරීම.

2.            කාර්මික අපජලය ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ නැවත භාවිත කිරීම.

3.            පිරිසිදු හා පරිසර හිතකාමී නිෂ්පාදන තාක්ෂණයන් හඳුන්වාදීම.

4.            අපද්‍රව්‍ය ප්‍රයෝජනවත් සම්පත් බවට පරිවර්තනය කරන පහසුකම් ස්ථාපිත කිරීම.

5.            පරිසර හිතකාමී කාර්මික උද්‍යාන සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර සහයෝගිතාව සාර්ථක කරගැනීම සඳහා ඉදිරිපත් කරන ව්‍යාපෘති තාක්ෂණික වශයෙන් ශක්තිමත්, මූල්‍යමය වශයෙන් ශක්‍ය සහ ආයෝජන සඳහා සූදානම් ව්‍යාපෘති විය යුතු බව ආයෝජන මණ්ඩලය අවධාරණය කරයි. එමෙන්ම, ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා විශ්වසනීය ආයතනික ව්‍යුහයන් ද පැවතිය යුතුය.

හරිත කාර්මික සංවර්ධනය තුළින් ශ්‍රී ලංකාවට නව ආර්ථික අවස්ථා

සමස්තයක් ලෙස, COP31 සමුළුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඉදිරිපත් කරන පණිවිඩය වන්නේ පාරිසරික තිරසාරභාවය සහ ආර්ථික සංවර්ධනය එකිනෙකට පටහැනි අරමුණු නොවන බවයි.

කාර්මික කාබන් විමෝචන අවම කිරීම, පුනර්ජනනීය බලශක්තිය භාවිතය පුළුල් කිරීම, අපද්‍රව්‍ය ප්‍රයෝජනවත් සම්පත් බවට පත් කිරීම සහ පරිසර හිතකාමී කාර්මික කලාප සංවර්ධනය කිරීම තුළින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය කරගැනීමටත්, අපනයන තරගකාරීත්වය ශක්තිමත් කිරීමටත්, නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමටත් හැකියාව පවතී.

එබැවින්, හරිත කාර්මික සංවර්ධනය යනු හුදෙක් පාරිසරික ආරක්ෂණ වැඩපිළිවෙළක් නොව, ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික වර්ධනය, ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ තරගකාරීත්වය සහ තිරසාර විදේශ ආයෝජන සඳහා මඟ සලසන වැදගත් ජාතික උපායමාර්ගයකි.

MostRead

වතුකර ප්‍රජාව වෙනුවෙන් වූ දැවැන්ත සෞඛ්‍ය සේවා කඳවුරක් සමඟින් මෙල්ස්ටා හොස්පිටල්ස් සිය ආයතනික සමාජ වගකීම් මෙහෙවර මධ්‍යම කඳුකරය වෙත පුළුල් කරයි

වතුකර ප්‍රජාව වෙනුවෙන් වූ දැවැන්ත සෞඛ්‍ය සේවා කඳවුරක් සමඟින් මෙල්ස්ටා හොස්පිටල්ස් සිය ආයතනික සමාජ වගකීම් මෙහෙවර මධ්‍යම කඳුකරය වෙත පුළුල් කරයි

වීඩියෝපුවත්

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%