
ඡායාරූපය: (ඉහළ වමේ සිට): ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ගරු ඉංජිනේරු එරංග වීරරත්න මහතා, SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා සහ SLT-MOBITEL ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් මහතා, සමූහයේ 2026 වසරේ 3 වැනි කාර්තුවේ සහ පළමු මාස 9 හි මූල්‍ය කාර්යසාධනය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්. (පහළ වමේ සිට) SLT-MOBITEL ප්‍රධාන මූල්‍ය නිලධාරී සංජීව සමරනායක මහතා සහ Mobitel ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මුල් මාස 9 තුළ සමූහයේ බදු පසු ලාභය 59.4% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 10.3 ක් ලෙස වාර්තා වෙයි: ආදායමේ 11.1% ක වර්ධනයක්
SLT PLC සමාගමේ මාස 9 බදු පසු ලාභය 58.0% කින් ඉහළට: Mobitel සමාගමේ බදු පසු ලාභය දෙගුණයකටත් වැඩි ප්‍රමාණයකින්, එනම් 110.8% කින් ඉහළට
2026 තුන්වන කාර්තුවේ සමූහයේ බදු පසු ලාභය රුපියල් බිලියන 3.7 ක් දක්වා 69.3% කින් ඉහළට: මෙහෙයුම් ලාභයේත් 25.8% ක වර්ධනයක්
සමූහයේ තුන්වන කාර්තුවේ ආදායම 10.9% කින් ඉහළට: සෘජු පිරිවැය ඉහළ යාම 8.8% කට සීමා වේ.
SLT සමූහය 2026 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස 9 ක කාලපරිච්ඡේදය සඳහා රුපියල් බිලියන 10.3 ක ඒකාබද්ධ බදු පසු ලාභයක් වාර්තා කර ඇති අතර, එය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයේදී වාර්තා වූ රුපියල් බිලියන 6.5 ට සාපේක්ෂව 59.4% ක වර්ධනයකි. බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම සහ පාරිභෝගික පදනම වර්ධනය වීම හේතුවෙන් ආදායමේ ද්විත්ව ඉලක්කම් වර්ධනයක් (Double-digit growth) වාර්තා වීම, පිරිවැය දැඩි ලෙස පාලනය කිරීම, ඉහළ පොලී ආදායමක් ලැබීම සහ විදේශ විනිමය ලාභ හිමි වීම යනාදී සාධක හේතුවෙන් SLT PLC සහ Mobitel යන සමාගම්වල ඉපැයීම් ඉහළ ගොස් තිබේ. වසරේ තුන්වන කාර්තුව තුළ විශේෂයෙන් කැපීපෙනෙන ප්‍රතිඵල වාර්තා වූ අතර, සමූහයේ බදු පසු ලාභය පෙර වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව 69.3% කින් වර්ධනය විය.
ආදායමේ ද්විත්ව ඉලක්කම් වර්ධනය සහ පිරිවැය පාලනය හේතුවෙන් සමූහයේ ලාභදායීත්වය ඉහළ යයි
වසරේ මුල් මාස 9 සඳහා සමූහයේ ආදායම රුපියල් මිලියන 94,003 ක් වූ අතර, එය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රුපියල් මිලියන 84,646 ට සාපේක්ෂව 11.1% ක වර්ධනයකි. ඒ අනුව නැවතත් ආදායමේ ද්විත්ව ඉලක්කම් වර්ධනයක් වාර්තා කිරීමට සමූහය සමත් වී ඇත. 4G සහ 5G ජාල සඳහා අඛණ්ඩව සිදු කළ ආයෝජන මෙන්ම සමූහයේ පාරිභෝගික පදනමේ ස්ථාවර වර්ධනය හේතුවෙන් බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් තවදුරටත් ශක්තිමත් වීම, මෙම වර්ධනයට පිටුබලය සැපයූ ප්‍රධානතම සාධකය විය.
රුපියල අවප්‍රමාණය වීම සහ මැදපෙරදිග පැවති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ඉහළ ගිය විදුලි ගාස්තු, ඉන්ධන මිල මෙන්ම ආනයනික උපකරණ හා නඩත්තු පිරිවැය හමුවේ වුවද, වසරේ මුල් මාස 9 ක කාලසීමාව තුළ සෘජු පිරිවැය ඉහළ යාම 8.2% කට සීමා වී තිබේ. මෙය ආදායම් වර්ධනයට වඩා සැලකිය යුතු ලෙස අඩු අගයකි. දළ ලාභය 14.2% කින් වර්ධනය වූ අතර, මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 11,792 සිට රුපියල් මිලියන 15,499 දක්වා 31.4% කින් ඉහළ ගොස් ඇත.
පොලී වියදම 2.2% කින් පහළ ගොස් තිබේ. සමූහය සතුව පැවති ඉහළ ඇමරිකානු ඩොලර් සංචිත හේතුවෙන් විදේශ විනිමය ලාභය 289% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 755 ක් ලෙස වාර්තා වූ අතර, පොලී ආදායමද 65.1% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 1,113 ක් විය. බදු පෙර ලාභය 37.6% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 13,026 ක් ලෙස වාර්තා වූ අතර, කාර්යක්ෂම බදු සැලසුම්කරණය හේතුවෙන් බදු පසු ලාභය රුපියල් මිලියන 10,306 ක් දක්වා 59.4% කින් වර්ධනය විය. ආර්ථිකයට ලබාදෙන දායකත්වයට අමතරව SLT-MOBITEL රජය වෙතද කැපීපෙනෙන සෘජු දායකත්වයක් ලබාදෙන අතර, 2026 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස 9 ක කාලසීමාව තුළ සමූහය මට්ටමින් රජය වෙත ගෙවන ලද බදු සහ ගාස්තුවල මුළු වටිනාකම රුපියල් බිලියන 30 ක් විය.
මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දක්වමින් SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා මෙසේ පැවසීය:
“2026 වසරේ 3 වන කාර්තුවේ සහ මුල් මාස 9 හි මූල්‍ය ප්‍රතිඵල මඟින් පෙන්නුම් කරන්නේ, ගෝලීය අස්ථාවරත්වයන් හමුවේ වුවද SLT-MOBITEL ආදායම් වර්ධනය ශක්තිමත් ඉපැයීම් බවට පරිවර්තනය කරමින් සිටින බවයි. SLT-MOBITEL සෑමවිටම පාරිභෝගිකයන්, කාර්ය මණ්ඩලය, කොටස් හිමියන් සහ ප්‍රජාවන් වෙනුවෙන් එක සේ කැප වී සිටිනවා. මෙම වසරේදී අප පාරිභෝගික සේවාව, කාර්ය මණ්ඩලයේ සුභසාධනය සහ 5G, 4G සහ Fibre-to-the-home ඇතුළු තාක්ෂණයන් සඳහා විශාල ආයෝජනයන් සිදු කළ අතර, රටේ සෑම ද්විතීයික පාසලකටම ෆයිබර් සම්බන්ධතා ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කළා. අප තිරසාර වර්ධනයක් අත්කරගනිමින් ජාතික මෙහෙවර ඉටුකරන පුරෝගාමී සමාගමක් බවට පත් වී ඇත්තේ මෙම සමබර, බහු-පාර්ශ්වික ප්‍රවේශය නිසා බව අප තරයේ විශ්වාස කරනවා. මෙහෙයුම් කාර්යක්ෂමතාව, සුපරීක්ෂාකාරී ප්‍රාග්ධන කළමනාකරණය සහ පිරිවැය ප්‍රශස්තකරණය ඔස්සේ මෙම ප්‍රතිඵල ළඟා කරගැනීමට දායක වූ අපගේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට මා බෙහෙවින්ම ස්තූතිවන්ත වනවා.”
SLT PLC සහ Mobitel සමාගම්වල ලාභ කැපීපෙනෙන ලෙස ඉහළට
වසරේ මුල් මාස 9 තුළ SLT PLC හි ආදායම 11.0% කින් වර්ධනය වී රුපියල් මිලියන 59,860 ක් ලෙස වාර්තා වී තිබේ. මෙහෙයුම් ලාභය 36.1% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 9,864 ක් වූ අතර, බදු පෙර ලාභය 35.5% කින් ඉහළ ගොස් ඇත. පිරිවැය ඉතිරි කිරීමේ ක්‍රම උපායන් සහ කාර්යක්ෂම බදු සැලසුම්කරණය හේතුවෙන් බදු පසු ලාභය රුපියල් මිලියන 4,069 සිට රුපියල් මිලියන 6,429 දක්වා 58.0% කින් වර්ධනය විය.
Mobitel හි ආදායම 15.5% කින් වර්ධනය වී රුපියල් මිලියන 40,743 ක් ලෙස වාර්තා වූ අතර, එය සමූහය සහ SLT PLC සමාගම යන දෙකෙහිම ආදායම් වර්ධනයට වඩා ඉහළ අගයකි. මෙහෙයුම් ලාභය 47.2% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 4,969 ක් ලෙස වාර්තා වූ අතර, බදු පෙර ලාභය 76.0% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 4,040 ක් ලෙස වාර්තා විය. Mobitel සමාගමේ බදු පසු ලාභය දෙගුණයකටත් වඩා වැඩි වී, 110.8% ක වර්ධනයක් සමඟ රුපියල් මිලියන 3,528 ක් ලෙස වාර්තා වී තිබේ.
2026 තුන්වන කාර්තුවේ ආදායම් වර්ධනය සහ පිරිවැය ඉතිරි කිරීම් හේතුවෙන් සමූහයේ බදු පසු ලාභය 69.3% කින් ඉහළ යයි
තුන්වන කාර්තුව සඳහා සමූහයේ ආදායම 10.9% කින්, එනම් රුපියල් මිලියන 3,210 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 32,689 ක් ලෙස වාර්තා වූ අතර, සෘජු පිරිවැය ඉහළ යාම 8.8% කට සීමා විය. මෙහෙයුම් ලාභය 25.8% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 5,334 ක් ලෙස වාර්තා වූ අතර, මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) 9.3% කින් වර්ධනය වී තිබේ. අතිරික්ත මුදල්වලින් ලැබුණු පොලී ආදායමද ඉහළ ගොස් රුපියල් මිලියන 458 ක් ලෙස වාර්තා විය. බදු පෙර ලාභය 17.1% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 4,471 ක් වූ අතර, සමූහයේ බදු පසු ලාභය 2025 තුන්වන කාර්තුවේ වාර්තා වූ රුපියල් මිලියන 2,188 සිට 69.3% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 3,705 ක් ලෙස වාර්තා වී තිබේ.
SLT PLC හි තුන්වන කාර්තුවේ ආදායම රුපියල් මිලියන 20,551 ක් දක්වා 11.7% කින් වර්ධනය වී තිබේ. මෙහෙයුම් ලාභය 29.0% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 3,201 ක් වූ අතර, බදු පසු ලාභය 26.5% කින් වර්ධනය වී රුපියල් මිලියන 1,799 ක් ලෙස වාර්තා විය.
Mobitel සමාගමේ ආදායම 20.6% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 14,542 ක් ලෙස වාර්තා විය. එහි මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) 31% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 5,517 ක් ලෙස වාර්තා වූ අතර, මෙහෙයුම් ලාභය 92.8% කින්, එනම් රුපියල් මිලියන 2,375 කින් ඉහළ ගොස් තිබේ. බදු පසු ලාභය 195.5% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 1,845 ක් ලෙස වාර්තා විය.
අනාගත දිශානතිය
SLT PLC මේ වනවිට දුෂ්කර පාසල් ඇතුළුව රට පුරා පාසල් වෙත ෆයිබර් සම්බන්ධතා ලබාදීමේ ජාතික මෙහෙවරක් වන ‘School Fiberization Project’ අඛණ්ඩව ක්‍රියාවට නංවමින් සිටී. Mobitel සමාගම මෙම වසර සඳහා සකස් කර තිබූ 5G ජාල ව්‍යාප්තිකරණ සැලසුම්වලින් බහුතරයක් මේ වන විට ක්‍රියාවට නංවා ඇති අතර, ඉදිරියේදී තම 5G ජාලය තවදුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වෙයි. මීට සමගාමීව සමූහය පිරිවැය ඉතිරි කිරීම සඳහා අඛණ්ඩව පියවර ගනිමින් සිටී.
යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව ලොව නවීනතම තාක්ෂණයන් ඔස්සේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය බලගන්වමින් SLT-MOBITEL දේශයේ අභිවෘද්ධිය උදෙසා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් සිටී. ජාතික AI ප්‍රදර්ශනය ඇතුළුව ජාතික මට්ටමේ 5G සහ AI වැඩසටහන් ඔස්සේ රට පුරා ව්‍යවසායකයන්, සිසුන් සහ සමස්ත පුරවැසියන් වෙත ලොව නවීනතම තාක්ෂණයේ මහිමය දිගින් දිගටම සමීප කරවීමට SLT-MOBITEL සමත් වී තිබේ.
මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් SLT-MOBITEL ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් මහතා මෙසේ අදහස් දැක්වීය:
“2026 වසරේ මුල් මාස 9 තුළ අපගේ යහපත් මූල්‍යමය ප්රවණතාවන්ට ප්‍රධාන වශයෙන් බලපෑවේ බ්‍රෝඩ්බෑන්ඩ් සහ ආයතනික මට්ටමේ සේවාවන් සඳහා අඛණ්ඩව පැවති ඉහළ ඉල්ලුම සහ, ආදායම සහ පාරිභෝගික වෙළඳපොළ කොටස යන දෙඅංශයෙන්ම Mobitel අත්කරගත් වේගවත් වර්ධනයයි. මෙහෙයුම් කාර්යක්ෂමතාව කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරමින් අපගේ 5G ජාල ව්‍යාප්තිය සහ FTTH ව්‍යාපෘති තවදුරටත් පුළුල් කිරීමට අප පියවර ගනිමින් සිටිනවා. සමූහයේ මූල්‍ය ස්ථාවරත්වය කෙරෙහි අප යොමුකරන අඛණ්ඩ අවධානය, 2026 නොවැම්බර් 04 දින Fitch Ratings මඟින් අපගේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිය ‘AA+(lka)’ with a Stable Outlook මට්ටමට ඉහළ නැංවීමෙන්ද පිළිබිඹු වනවා. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය සම්බන්ධයෙන් රජය සතු ඉලක්කවලට සමගාමීව කටයුතු කරන අතරම, පාරිභෝගිකයන්ගේ සහ ව්‍යාපාරවල දියුණුවට අවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් අඛණ්ඩව සැපයීමට අප සූදානම්.”





















