header logo

Daily Exchange Rates

Nov 18, 2026
Top News
First Capital Holdings අභියෝගාත්මක වෙළෙඳපොළ තත්ත්වයන් හමුවේ 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේ මූල්‍ය ප්‍රතිඵල නිකුත් කරයි
First Capital Holdings අභියෝගාත්මක වෙළෙඳපොළ තත්ත්වයන් හමුවේ 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේ මූල්‍ය ප්‍රතිඵල නිකුත් කරයි

First Capital Holdings PLC හි සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් වීරසේකර මහතා

අවදානම් කළමනාකරණය සහ අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ක්‍රමෝපායික ප්‍රමුඛතා යළි තහවුරු කරයි

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන First Capital Holdings PLC, 2026 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය තුළ රුපියල් බිලියන 1.27 ක බදු පසු අලාභයක් වාර්තා කර තිබේ. ඊට සාපේක්ෂව පෙර වසරේ අදාළ කාලසීමාව තුළ සමාගම රුපියල් බිලියන 3.43 ක බදු පසු ලාභයක් වාර්තා කර තිබිණි. 2026/27 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුව සඳහා සමූහයේ බදු පසු අලාභය රුපියල් බිලියන 0.54 ක් විය.

මුදල් ප්‍රතිපත්තිවල සිදු වූ වෙනස්කම් සහ ස්ථාවර ආදායම් ප්‍රතිලාභ අනුපාතයන් (Fixed-income yields) මත ඇති වූ පීඩනය හේතුවෙන් වෙළෙඳපොළ පරිසරය අභියෝගාත්මක වීම මෙම තත්වයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

මැදපෙරදිග භූ දේශපාලනික ගැටලු හේතුවෙන් ඇති වූ උද්ධමනකාරී පීඩනය සැලකිල්ලට ගනිමින් 2026 මැයි මාසයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් අංක 100 කින් ඉහළ නංවනු ලැබීම, අදාළ කාලපරිච්ඡේදය තුළ පැවති මෙහෙයුම් පරිසරයට දැඩි බලපෑමක් එල්ල කළේය. පළමු කාර්තුව අවසානයේ සහ දෙවැනි කාර්තුව තුළ රාජ්‍ය සුරැකුම්පත්වල ප්‍රතිලාභ අනුපාතවල විශාල වෙනස්කම් සිදු වීම හේතුවෙන් ස්ථාවර ආදායම්, ණය සහ කොටස් ගනුදෙනුවල කාර්යසාධනයට බලපෑම් එල්ල විය.

කෙසේ වුවද වෙළෙඳපොළ තුළ සිදුවන මෙබඳු වෙනස්කම් First Capital සමාගමට නුපුරුදු අත්දැකීමක් නොවන අතර, අප මීට පෙර ද මෙවැනි වෙළෙඳපොළ අස්ථාවරත්වයන්ට සාර්ථකව මුහුණ දෙමින් ව්‍යාපාර කටයුතු මෙහෙයවා තිබේ. උදාහරණයක් ලෙස, 2021/22 මූල්‍ය වර්ෂයේදී පැවති අභියෝගාත්මක වෙළෙඳපොළ තත්ත්වයන් හමුවේ සමූහය රුපියල් මිලියන 652 ක බදු පසු අලාභයක් වාර්තා කළේය. ඉන් අනතුරුව වෙළෙඳපොළ තත්ත්වයන් වෙනස් වීමත් සමඟ යළි ලාභදායීත්වය අත්කර ගැනීමට සමූහය සමත් වූ අතර, 2022/23 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 2.65 ක්, 2023/24 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 10.16 ක්, 2024/25 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 5.02 ක් සහ 2025/26 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 2.10 ක් වශයෙන් බදු පසු ලාභ වාර්තා කිරීමට අපට හැකි විය. මෙම අතීත ප්‍රතිඵල තුළින් First Capital සතු වෙළෙඳපොළ අත්දැකීම් සම්භාරය මෙන්ම වෙනස් වන තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දෙමින් දීර්ඝකාලීනව ව්‍යාපාරික කාර්යසාධනය පවත්වාගෙන යාමේ හැකියාව මැනැවින් පිළිබිඹු වේ.

අභියෝගාත්මක වෙළෙඳපොළ තත්ත්වයන් හේතුවෙන් සමූහයේ ප්‍රධාන ව්‍යාපාර අංශවලට විවිධාකාර බලපෑම් එල්ල විය. ඒ අනුව 2026/27 මූල්‍ය වර්ෂයේ ප්‍රථම අර්ධය සඳහා Primary Dealer අංශය රුපියල් මිලියන 540 ක බදු පසු අලාභයක් වාර්තා කළ අතර, පෙර වසරේ එම කාලසීමාව සඳහා එම අංශය වාර්තා කර තිබූ බදු පසු ලාභය රුපියල් බිලියන 1.57 කි. රාජ්‍ය සුරැකුම්පත් ගනුදෙනුවලින් රුපියල් බිලියන 1.69 ක අලාභයක් සිදුවීම මෙම අංශයේ ප්‍රතිඵල කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර තිබේ. මීට සාපේක්ෂව 2025/26 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී එම අංශය රුපියල් බිලියන 1.81 ක ගනුදෙනු ලාභයක් වාර්තා කර තිබිණි. එමෙන්ම පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළදී රුපියල් මිලියන 988 ක් වූ ශුද්ධ පොලී ආදායම මෙම කාලපරිච්ඡේදයේදී රුපියල් මිලියන 687 ක් දක්වා පහළ ගොස් තිබේ.

මේ අතර, ණය සහ කොටස් වෙළෙඳපොළවල පැවති අසීරු තත්ත්වයන් හේතුවෙන් Corporate Dealing Securities අංශය 2025/26 මූල්‍ය වර්ෂයේ ප්‍රථම අර්ධයේදී වාර්තා කළ රුපියල් බිලියන 1.78 ක බදු පසු ලාභයට සාපේක්ෂව මෙවර රුපියල් මිලියන 834 ක බදු පසු අලාභයක් වාර්තා කර ඇත.

මෙම තත්වයන්ට වෙනස්ව Corporate Finance Advisory අංශය වර්ධනයක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර, පෙර මූල්‍ය වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදයේදී වාර්තා කළ රුපියල් මිලියන 25 ක බදු පසු ලාභය මෙවර රුපියල් මිලියන 69 දක්වා ඉහළ ගොස් තිබේ.

Wealth Management අංශය රුපියල් මිලියන 3 ක සුළු බදු පසු අලාභයක් වාර්තා කළ අතර, 2025/26 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී එම අංශය රුපියල් මිලියන 48 ක බදු පසු ලාභයක් වාර්තා කර තිබිණි. 2026 සැප්තැම්බර් 30 දින වන විට එම අංශය මඟින් කළමනාකරණය කරනු ලබන වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 92.4 ක් ලෙස වාර්තා විය.

Stock Brokering අංශය අඛණ්ඩව ලාභදායීත්වය පවත්වාගෙන ගියද එහි බදු පසු ලාභය පෙර වසරේ අදාළ මාස 6 ක කාලසීමාව තුළ වාර්තා කළ රුපියල් මිලියන 116 ට සාපේක්ෂව මෙවර රුපියල් මිලියන 12 ක් දක්වා පහළ ගොස් තිබේ. වෙළෙඳපොළ තත්ත්වයන් හමුවේ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරකම් මන්දගාමී වීම, ගනුදෙනු ප්‍රමාණය සහ සමස්ත වෙළෙඳපොළ කාර්යසාධනය කෙරෙහි අහිතකර ලෙස බලපෑම මීට ප්‍රධානතම හේතුවයි.

සාර්ව ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද First Capital Holdings PLC සමාගම අදාළ කාලපරිච්ඡේදය තුළ සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලැබීමට සමත් විය. 2026 අගෝස්තු මාසයේදී World Economic Magazine විසින් සමූහය ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයෝජන බැංකුකරණ ආයතනය’ (Best Investment Banking Firm in Sri Lanka) ලෙස නම්කරන ලද අතර, නැවත වරක් LMD 100 Top Corporates ලැයිස්තුවට ඇතුළත් වීමටද සමත් විය.

මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් First Capital Holdings PLC හි සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා මෙසේ පැවසීය:

“වසරේ පළමු අර්ධය තුළ ඉහළ පොලී අනුපාත සහ ද්විතීයික වෙළෙඳපොළ ප්‍රතිලාභ අනුපාතවල සිදු වූ වෙනස්කම් හේතුවෙන් ණය සහ කොටස් ගනුදෙනු සඳහා අභියෝගාත්මක තත්ත්වයක් නිර්මාණය වුණා. එය Primary Dealer සහ Corporate Dealing Securities අංශවල කාර්යසාධනයට අහිතකර ලෙස බලපා තිබෙනවා. ඊට ප්‍රතිචාර වශයෙන්, වෙනස් වන වෙළෙඳපොළ පරිසරයට අනුගත වෙමින් අවදානම් කළමනාකරණය වඩාත් විධිමත් කිරීම, ආදායම වර්ධනය කරගැනීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම කෙරෙහි අප වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. එමෙන්ම සමූහයේ අභිවෘද්ධිය උදෙසා නිරන්තරයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගවල කොටසක් ලෙස, අපගේ අධ්‍යක්ෂ මණ්ඩලවල සංයුතිය මෙන්ම පාලන හා අධීක්ෂණ රාමු තවදුරටත් ශක්තිමත් කිරීමටද අප පියවර ගත්තා. වෙනස් වන ක්‍රමෝපායික ප්‍රමුඛතාවන්ට අනුකූලව කටයුතු කිරීම, වගවීම ශක්තිමත් කිරීම සහ වඩාත් විධිමත් තීරණ ගැනීමේ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම සඳහා අපගේ අවධානය යොමු වී ඇති බව මෙමඟින් මැනැවින් පිළිබිඹු වනවා. වෙළෙඳපොළ තත්ත්වයන් වෙනස් වීම හමුවේ අපගේ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සහය නොඅඩුව ලබාදෙන අතරම යහපත් ආයතනික පාලනයක් පවත්වාගෙන යමින් අපගේ පාර්ශ්වකරුවන්ට දීර්ඝකාලීන ප්‍රතිලාභ පිරිනැමීම අපගේ අරමුණයි.”

First Capital Holdings PLC හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් වීරසේකර මහතා මෙසේ අදහස් දැක්වීය:

“2026 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස 6 ක කාලසීමාව සඳහා අප වාර්තා කළ රුපියල් බිලියන 1.27 ක බදු පසු අලාභයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඉහළ පොලී අනුපාතවල බලපෑම සහ රාජ්‍ය සුරැකුම්පත්වල ප්‍රතිලාභ අනුපාත මත ඇති වූ පීඩනයයි. ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීම සහ වෙළෙඳපොළේ දීර්ඝකාලීන වර්ධනය උදෙසා ස්ථාවර ප්‍රතිපත්තිමය මඟපෙන්වීමක් අත්‍යවශ්‍ය වන අතර, මේ මොහොතේ අපගේ අවධානය ප්‍රධාන වශයෙන් යොමු වී ඇත්තේ අපගේ පාලනය යටතේ පවතින තත්වයන් පිළිබඳවයි. වෙනස් වන ආයෝජක අවශ්‍යතා සහ වෙළෙඳපොළ තත්ත්වයන්ට අනුගත වෙමින්, ඩිජිටල් සේවා ඔස්සේ අපගේ සේවාවන් වඩාත් කාර්යක්ෂම කරමින්, ආයෝජකයන්ට වඩාත් පහසුවෙන් ආයෝජනය කිරීමට අවස්ථා උදා කර දීම සඳහා අප දිගින් දිගටම පියවර ගනිමින් සිටිනවා.”

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%