
2027 වන විට මෙගාවොට් 25ක ද, 2028 වන විට මෙගාවොට් 50ක ද දත්ත මධ්‍යස්ථාන ධාරිතාවක් ස්ථාපිත කිරීමේ ඉලක්කයක්
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව ජාතික පාර්ශවකරුවන්ගේ උපදේශන හමුවක් පවත්වමින් දත්ත මධ්‍යස්ථාන සහ ක්ලවුඩ් යටිතල පහසුකම් සඳහා වන ආයෝජන කොන්දේසි පිළිබඳ සාකච්ඡා කරයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය (MoDE) සහ GovTech ශ්‍රී ලංකා ආයතනය සමඟ එක්ව, මෙරට දත්ත මධ්‍යස්ථාන ක්ෂේත්‍රය සඳහා ජාතික ආයෝජන උපායමාර්ගයක් සකස් කිරීමේ තීරණාත්මක පියවරක් ඉදිරියට තබා තිබේ.
ඒ අනුව, දත්ත මධ්‍යස්ථාන සහ ක්ලවුඩ් යටිතල පහසුකම් සඳහා වන ජාතික ආයෝජන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ජාතික පාර්ශ්වකරුවන්ගේ උපදේශන හමුවක් 2026 නොවැම්බර් 6 වැනි දින පවත්වන ලදී.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගේ සම සභාපතිත්වයෙන් පැවති මෙම හමුවට, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා ද සහභාගී විය.
මෙම සාකච්ඡාවට අදාළ ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන රාජ්‍ය ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 40කට ආසන්න පිරිසක් එක්ව සිටියහ. ඒ අතරට බලශක්ති අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම, Electricity Distribution Lanka (පුද්ගලික) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම්කරු (පුද්ගලික) සමාගම, ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළත් විය.
මෙම හමුව මඟින් දත්ත මධ්‍යස්ථාන ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා අත්‍යවශ්‍ය මූලික කොන්දේසි සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කරගැනීමේ අවසන් අදියර සනිටුහන් විය. විදුලි ගාස්තු, ඉඩම් සහ ජලය වෙන් කිරීම, සම්බන්ධතා පහසුකම්, පුනර්ජනනීය බලශක්තියට ප්‍රවේශය සහ මූල්‍යමය දිරිගැන්වීම් යන කරුණු මෙහිදී සාකච්ඡා කෙරිණි. එසේම, ආයෝජන කලාපවල යටිතල පහසුකම්වල සූදානම සහ ඒ ඒ ආයතනවල වගකීම් ද තහවුරු කිරීම සිදු විය.
මාස කිහිපයක සැලසුම් සහගත සූදානමකින් පසු තීරණාත්මක පියවරක්
මෙම උපදේශන හමුව පැවැත්වීමට පෙර මාස කිහිපයක් පුරා සැලසුම් සහගත සූදානම් කටයුතු රැසක් සිදු කර තිබේ.
ඒ යටතේ මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීම, වෙළෙඳපොළ අවශ්‍යතා සහ ආයෝජක උනන්දුව හඳුනාගැනීම සඳහා තොරතුරු ඉල්ලීමේ (Request for Information – RFI) ක්‍රියාවලියක් පැවැත්වීම, කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගෙන් ප්‍රතිචාර 30කට වැඩි සංඛ්‍යාවක් ලබාගැනීම සහ තාක්ෂණික උපදේශන සාකච්ඡා මාලාවක් පැවැත්වීම ඊට ඇතුළත් විය.
මීට අමතරව, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) තාක්ෂණික සහාය යටතේ ජාත්‍යන්තර උපදේශන සමාගමක් වන Roland Berger විසින් විශේෂඥ තක්සේරුවක් ද සිදු කරන ලදී. මේ අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනාගත ආයෝජකයන් සමඟ සෘජු සාකච්ඡා ද අඛණ්ඩව පවත්වාගෙන ගොස් තිබේ.
උපදේශන හමුව ආරම්භ කරමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා, දත්ත මධ්‍යස්ථාන ආයෝජන සඳහා තරගකාරී ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම අරමුණු කරගත් ආයෝජන මණ්ඩලය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අතර ඒකාබද්ධ වැඩපිළිවෙළ පැහැදිලි කළේය.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පෙන්වා දුන්නේ, මෙම ක්ෂේත්‍රයේ සංවර්ධනය මඟින් මෙරට ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට මෙන්ම නව අපනයන අවස්ථා උදාකර ගැනීමට ද විශාල හැකියාවක් පවතින බවයි. කෙසේ වෙතත්, දත්ත මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමේදී විදුලිබලය ඉතා වැදගත් සාධකයක් වන බැවින්, මෙම කර්මාන්තය සැලසුම්සහගතව හා තිරසාර ආකාරයෙන් සංවර්ධනය කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
පැහැදිලි ජාතික ඉලක්කයක්: 2027 වන විට මෙගාවොට් 25ක්, 2028 වන විට මෙගාවොට් 50ක්
2027 වසර වන විට මෙගාවොට් 25ක දත්ත මධ්‍යස්ථාන ධාරිතාවක් ද, 2028 වසර වන විට මෙගාවොට් 50ක ධාරිතාවක් ද ස්ථාපිත කිරීමේ යෝජිත ජාතික ඉලක්ක පිළිබඳව මෙහිදී පාර්ශවකරුවන්ගේ අවධානය යොමු විය.
මෙම ධාරිතාවෙන් සියයට 75ක් සාම්ප්‍රදායික පරිගණක සැකසුම් (Conventional Compute) සඳහා ද, සියයට 25ක් කෘත්‍රිම බුද්ධිය (AI) ආශ්‍රිත පරිගණක සැකසුම් සඳහා ද වෙන් කිරීමට යෝජනා කර තිබේ.
එසේම, අතිවිශාල පරිගණක සැකසුම් ධාරිතාවක් සහිත හයිපර්ස්කේල් (Hyperscale) දත්ත මධ්‍යස්ථාන සඳහා වන ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම ද ප්‍රධාන අරමුණකි.
ජාතික විදුලිබල ජාලයෙන් විදුලිය සපයන දත්ත මධ්‍යස්ථාන සහ පුනර්ජනනීය බලශක්ති පද්ධති සමඟ ඒකාබද්ධ වූ දත්ත මධ්‍යස්ථාන යන දෙවර්ගය සඳහාම යෝජිත ආයෝජන කොන්දේසි මෙහිදී ඉදිරිපත් කෙරිණි. නව ව්‍යාපෘති ස්ථාපිත කිරීම මෙන්ම දැනට පවතින ව්‍යාපෘතිවල ධාරිතාව පුළුල් කිරීම ද මෙම යෝජනාවලට ඇතුළත් වේ.
ප්‍රතිපත්ති රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පාර්ශ්වකරුවන් විසින් යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කරන ලදී.
- පුනර්ජනනීය බලශක්තිය ලබාගැනීමේ ක්‍රමවේදය, දත්ත මධ්‍යස්ථාන පරිශ්‍රය තුළම විදුලිය නිපදවීමට පමණක් සීමා නොකර, විදුලි බල හුවමාරු ක්‍රමවේද (Power Wheeling) සහ තෙවන පාර්ශ්ව සමඟ ඇති කරගන්නා විදුලි මිලදී ගැනීමේ ගිවිසුම් (Power Purchase Agreements – PPAs) මඟින් වෙනත් ස්ථානවල නිපදවන පුනර්ජනනීය විදුලිය ලබාගැනීම දක්වා පුළුල් කිරීම.
- විවෘත ප්‍රවේශ විදුලි සැපයුම් ක්‍රමවේද (Open Access Electricity Arrangements) 2027 වසර අවසානය වන විට ක්‍රියාත්මක මට්ටමට ගෙන ඒම ඉලක්ක කරගැනීම.
- එක් එක් දත්ත මධ්‍යස්ථානයේ පිහිටීම සහ අවශ්‍යතා අනුව විදුලි සැපයුමේ විශ්වසනීයත්වය සහ අඛණ්ඩතාව පිළිබඳ නිශ්චිත අවශ්‍යතා ආයෝජකයන් සමඟ එකඟතාවයකට පැමිණීම.
- දත්ත මධ්‍යස්ථාන ක්‍රියාකරුවන් විසින් අදාළ විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ මාර්ගෝපදේශ අනිවාර්යයෙන්ම අනුගමනය කිරීම.
ආයෝජන සඳහා සූදානම් ස්ථාන හඳුනාගැනීම
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා විසින් ආයෝජන මණ්ඩලයේ කලාප තුළ දත්ත මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා මූලික වශයෙන් හඳුනාගෙන ඇති ස්ථාන පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී.
එම ස්ථාන අතර ජාතික විදුලිබල ජාලයෙන් විදුලිය ලබාගත හැකි ස්ථාන මෙන්ම ස්වයං විදුලි ජනන පද්ධති (Captive Power) සහ පුනර්ජනනීය බලශක්ති පද්ධති සමඟ ඒකාබද්ධ කළ හැකි ස්ථාන ද ඇතුළත් වේ.
මෙම ආයෝජන ස්ථාන නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පෙර, අදාළ උපයෝගිතා සේවා ආයතන සහ නියාමන ආයතන සමඟ එක්ව එක් එක් ස්ථානයේ යටිතල පහසුකම් පවතින ආකාරය සහ ඒවායේ සූදානම් මට්ටම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ලේඛනගත කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කටයුතු කරනු ඇත.
මෙහි අරමුණ වන්නේ ආයෝජන තීරණ ගැනීමේදී ආයෝජකයන්ට නිවැරදි, විශ්වාසදායක සහ ප්‍රායෝගිකව භාවිත කළ හැකි තොරතුරු සැපයීමයි.
ඉදිරි පියවර: දෙසැම්බර් මාසයේදී දෙවන පාර්ශවකරුවන්ගේ හමුවක්
පාර්ශ්වකරුවන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යෝජිත දත්ත මධ්‍යස්ථාන ආයෝජන කොන්දේසි සංශෝධනය කිරීමට නියමිතය.
ඉතිරිව පවතින කරුණු පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීම සහ ආයෝජන කොන්දේසි අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් 2026 දෙසැම්බර් මාසයේදී දෙවන පාර්ශ්වකරුවන්ගේ හමුවක් කැඳවීමට ද සැලසුම් කර තිබේ.
එසේම, දත්ත මධ්‍යස්ථාන සඳහා විශේෂිත විදුලි ගාස්තු රාමුවක් (Dedicated Data Centre Electricity Tariff Framework) අනුමත කරගැනීමේ කටයුතු ද මේ වන විට සිදු කෙරෙමින් පවතී. සමස්ත ප්‍රතිපත්ති පැකේජය මෙම වසර අවසානය වන විට සම්පූර්ණ කිරීම එහි අපේක්ෂිත අරමුණයි.
අවසන් වශයෙන් සකස් කෙරෙන මෙම ජාතික ආයෝජන රාමුව මඟින් දේශීය හා විදේශීය ආයෝජකයන්ට ශ්‍රී ලංකාව තුළ දත්ත මධ්‍යස්ථාන සහ ක්ලවුඩ් යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සඳහා විනිවිදභාවයෙන් යුතු, මනා සම්බන්ධීකරණයකින් යුත් ක්‍රමවේදයක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අරමුණු සාක්ෂාත් කරගැනීමට මෙන්ම ඉහළ ආර්ථික වටිනාකමක් එක් කරන සෘජු විදේශ ආයෝජන (Foreign Direct Investment – FDI) මෙරටට ආකර්ෂණය කරගැනීමේ පුළුල් උපායමාර්ගයට ද ශක්තිමත් දායකත්වයක් සපයනු ඇත.


















