
ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratingsවිසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශීය සහ දේශීය මුදල් ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම 'CCC+' සිට 'B-' දක්වා ඉහළ නංවා ඇති බව දැනුම් දී සිටී.
තවද එහි ඉදිරි දැක්ම Stable මට්ටමේ පවත්වාගෙන යනු ලබන බවත් , ශ්‍රී ලංකාවේ කෙටිකාලීන ණය ශ්‍රේණිගත කිරීමද 'C' සිට 'B' දක්වා ඉහළ දමා ඇති බවත් වැඩිදුරටත් සඳහන් කරයි.
රාජ්‍ය ආදායම් වර්ධනය වීම සහ විදේශ විනිමය සංචිත අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය තහවුරු වෙමින් පවතින බව S&P ආයතනය පෙන්වා දෙයි. 2026 වසරේ මුල් මාස නවය තුළ රාජ්‍ය ආදායම 20% කින් වර්ධනය වී ඇති අතර, 2026 සමස්ත රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 17% ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට අමතරව, 2026 ජූනි මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 6.5 ක් වූ නිල විදේශ විනිමය සංචිත ප්‍රමාණය 2026 ඔක්තෝබර් වන විට ඩොලර් බිලියන 7.09 දක්වා වර්ධනය වී තිබේ.
මේ අනුව, ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාව නැවත ණය පැහැර හැරීමේ (default) අවදානමකට ලක්වීමේ හැකියාව ඉතා අවම බව එස් ඇන්ඩ් පී ආයතනය පවසයි. කෙසේ වෙතත්, මැද පෙරදිග පවතින යුදමය තත්ත්වය නිසා ඉන්ධන පිරිවැය ඉහළ යාම, උද්ධමනය වැඩිවීම සහ 2027 දී ඇති විය හැකි එල් නීනෝ (El Niño) කාලගුණික තත්ත්වයන් ආර්ථිකයට යම් අභියෝග එල්ල කළ හැකි බවද එම වාර්තාවේ සඳහන් වේ.






















