අඛණ්ඩව තෙවන දිනයටත් කොටස් වෙළෙඳපොළ ඒකක 100ක් ඉක්මවා පහළට

    July, 9, 2026

    අද (09) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 130.78කින් පහළ ගොස් ඒකක 21,697.72ක් ලෙසින් වාර්තා විය.

    මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 100ක් ඉක්මවූ පහළ යාමක් වාර්තා කළේ අඛණ්ඩව තෙවන දිනයටයි.

    දිනය තුළ S&P SL20 දර්ශකය ඒකක 33.03කින් පහළ ගොස් ගනුදෙනු අවසානයේ දී ඒකක 6,066.49ක් ලෙසින් සටහන්ව තිබුණි.

    සමාගම් 144ක කොටස් මිල ගණන් ඊයේ (08) දිනයට සාපේක්ෂව අද දින පහළ ගොස් තිබුණු අතර එහිදී කොමර්ෂල් බැංකුව, මෙල්ස්ටාකෝප්, LION BREWERY, හේලීස් සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමට බෙහෙවින් බලපා තිබුණි.

    අද දින රු. බිලියන 1.43ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය. එහිදී හේමාස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 184), ඇක්සෙස් ඉංජිනියරින් (රු. මිලියන 161), මෙල්ස්ටාකෝප් (රු. මිලියන 116) සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 108) යන සමාගම්වලින් පමණක් රු. මිලියන 100 ඉක්මවූ පිරිවැටුම් වාර්තා වී තිබුණි.