අඛණ්ඩව දින 5 ක් කොටස් වෙළෙඳපොළ පහළට

    March, 19, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක මෙම සතිය තුළ දී අඛණ්ඩව පහළ යන ලදී. අද (19) දිනය තුළ දීද ඒකක 76.44 ක පහළ යාමක් සියලු කොටස් මිල දර්ශකයෙන් වාර්තා වූ අතර දිනය අවසානයේ දී එය ඒකක 6,854.32 ක් ලෙසින් සටහන්ව තිබුණි. මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ දී ඒකක 17.33 කින් පහළ ගොස් ඒකක 2,757.45 ක් ලෙසින් වාර්තා විය.

    මෙම සතියේ ගනුදෙනු 5 පුරාවටම අඛණ්ඩව මිල දර්ශකවල පහළ යාමක් වාර්තා වීම විශේෂත්වයකි.

    පසුගිය සතියේ ගනුදෙනු අවසානයේ දී ඒකක 7,247.48 ක් ලෙසින් දැක්වුණු සියලු කොටස් මිල දර්ශකය මෙම සතිය තුළ දී ඒකක 393.16 කින් පහළ ගොස් ඇත. එය 5.42% ක පරිහානියකි.

    මේ අනුව 2021 වසරේ අද (මාර්තු 19) දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය 1.18% ක් දක්වා පහත වැටී ඇත. 2021 ජනවාරි මාසය තුළ දී 27.96% ක තරම් ඉහළ අගයකින් කොටස් වෙළෙඳපොළ වර්ධනය වී තිබුණි.