වේගයෙන් වෙනස් වන ගෝලීය ඩිජිටල් ප්‍රවණතා සහ දේශීය නියාමන රාමුව එකිනෙකට ගැළපීම සඳහා වන සුවිශේෂී පියවරක් තබමින්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) ඒකාබද්ධව සංවිධානය කරන ලද ආරක්ෂිත ඩිජිටල් අනාගතයක් උදෙසා එක්වෙමු "අතථ්‍ය වත්කම් (Virtual Assets) පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ සැසියක්" ඊයේ (15) දින සාර්ථකව පවත්වන ලදී. මෙම සැසිය ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙහිදී ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විශේෂඥයින් වන නිසල් චන්ද්‍රසේකර මහතා සහ දිනින්දු තේවරතන්ත්‍රි මහතා විසින් පහත සඳහන් ප්‍රධාන කරුණු 3 ඔස්සේ සහභාගී වූවන් විස්තීර්ණ ලෙස දැනුවත් කරන ලදී:
ශ්‍රී ලංකා වෙළෙඳපොළේ සැබෑ තත්ත්වය : මෙරට තුළ ක්‍රියාත්මක වන Peer-to-Peer (P2P) නාලිකා, විදේශීය වේදිකා (Offshore Platforms) සහ නියාමනය නොකළ මූල්‍ය පරිසරයක පවතින අවදානම් පිළිබඳව පුළුල් ලෙස ඇගයීම.
ගෝලීය පූර්වාදර්ශයන් : සිංගප්පූරුව, හොංකොං, තායිලන්තය සහ මැලේසියාව වැනි කලාපීය මධ්‍යස්ථානයන්හි සාර්ථක උපායමාර්ගික නියාමන ක්‍රමවේදයන් ශ්‍රී ලංකාවට ගැළපෙන සේ උපයෝගී කරගත හැකි ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීම.
අවදානම් කළමනාකරණය සහ අනුකූලතාව : ගනුදෙනු නිරීක්ෂණය කිරීම, KYC (Know Your Customer) සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (AML) පාලන ක්‍රමවේදයන් මෙන්ම බ්ලොක්චේන් (Blockchain) තාක්ෂණය ඔස්සේ ගනුදෙනු සොයා ගැනීමේ හැකියාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම.
එමෙන්ම මෙහිදී අතථ්‍ය වත්කම් නිර්මාණය වන, වෙළෙඳාම් වන, ගබඩා වන සහ විවිධ ක්ෂේත්‍රයන්හි උපයෝගී කරගන්නා ආකාරය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දුන් අතර, එහි ප්‍රධාන භාවිතයන් වන ETFs සහ ස්වයං-භාරකාරී රඳවා ගැනීම් (Self-Custody Holdings) වැනි ආයෝජන නිෂ්පාදන, ජාත්‍යන්තර ගෙවීම් සහ ප්‍රේෂණ (Cross-Border Payments & Remittances) කාර්යක්ෂමව සිදු කිරීම මෙන්ම භෞතික වත්කම් ඩිජිටල් ස්වරූපයට පරිවර්තනය කිරීම (Tokenization) සහ ටෝකන නිකුත් කිරීම හරහා නව ව්‍යවසායකයින් (Startups) සඳහා ප්‍රාග්ධනය රැස් කිරීමේ අවස්ථා පිළිබඳව ද කෙටියෙන් හඳුන්වා දෙන ලදී. ආයෝජක ආරක්ෂණය, ආයතනික වගකීම් සහ ශ්‍රී ලංකාවට ගැළපෙන විධිමත් නියාමන මාර්ග සිතියමක් සකස් කිරීම පිළිබඳව මිනිත්තු 45ක කාලයක් පුරා පැවැත්වුණු අන්තර්ක්‍රියාකාරී සාකච්ඡාවකින් අනතුරුව මෙම සැසිය සාර්ථකව නිමාවට පත්විය.
මෙම සැසිය සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා සහ මූල්‍ය බුද්ධි ඒකකයේ (FIU) අධ්‍යක්ෂිකා ආචාර්ය සුභාණි කීර්තිරත්න මහත්මිය ඇතුළුව කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE), ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය (MoDe) නියෝජනය කරමින් ප්‍රධාන නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.