August, 7, 2026
හෙළ ඇපරල් හෝල්ඩින්ග්ස් පීඑල්සී (Hela Apparel Holdings PLC) සහ එහි අනුබද්ධ සමාගම් දෙකක් වන හේලා ක්ලෝතින් ලිමිටඩ් (Hela Clothing Ltd.) සහ ෆවුන්ඩේෂන් ගාමන්ට්ස් ලිමිටඩ් (Foundation Garments Ltd.) තම බැරකම් පියවීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් අධිකරණ නියෝගයක් මගින් සමාගම් ඈවර කිරීමට (Winding up) තීරණය කර ඇත.
හෙළ ඇපරල් හෝල්ඩින්ග්ස් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) වෙත කරන ලද දැනුම්දීමකට අනුව, දිගින් දිගටම පවතින ද්‍රවශීලතා ගැටලු (liquidity constraints) හේතුවෙන් ව්‍යාපාර කටයුතු තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බව අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් වූ ඈවර කිරීමේ අයදුම්පත් 2026 අගෝස්තු 5 වන දින කොළඹ වාණිජ මහාධිකරණයේ ගොනු කර ඇති බව එහි අධ්‍යක්ෂ දිලංක ජිනදාස කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.
සමාගමේ මූල්‍ය තත්ත්වය, වත්කම්, වගකීම් සහ මෙහෙයුම් කාර්ය සාධනය පිළිබඳව දැඩි සමාලෝචනයකින් පසුව අගෝස්තු 4 වන දින අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම යෝජනාව සම්මත කර ගෙන ඇති බව වාර්තා වේ. සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ උපාය මාර්ගික ආයෝජන ලබා ගැනීම වැනි විකල්ප රැසක් අත්හදා බැලූ නමුත්, එම විකල්පයන් සාර්ථක නොවීම හෝ ඒවා තවදුරටත් වාණිජමය වශයෙන් ප්‍රායෝගික නොවීම හේතුවෙන් මෙම අවසන් තීරණයට එළඹ තිබේ.
ණය හිමියන්, සේවකයින් සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ පාඩු අවම කිරීම සහ වටිනාකම් සුරැකීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගවේෂණය කිරීමෙන් පසුව මෙම පියවර ගත් බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
Video Story