අනුරාධපුර ඖෂධ නිෂ්පාදන කලාපයට ආයෝජකයින් 24 ක් රු. බිලියන 28 ක් ආයෝජනයට සූදානම්

    March, 24, 2021

    ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ඖෂධ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කර තත්ත්වයෙන් උසස් ඖෂධ අඩු මිලට ජනතාවට ලබා දීම සඳහා දේශීය ව්‍යාපාරිකයින් හා අයෝජකයින් දිරිගැන්වීමේ වැඩසටහන යටතේ අනුරාධපුර ඔයාමඩුව දැයට කිරුළ පැවති භූමියේ “අනුරාධපුර ඖෂධ නිෂ්පාදන කලාපය“ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

    ඒ සඳහා උනන්දුවක් දක්වන සුදුසුකම්ලත් දේශීය ආයෝජකයින් 24 දෙනෙකු තෝරාගනු ලැබ ඇත.

    එම ආයෝජකයින් විසින් රු. මිලියන 28,200ක් පමණ මෙම ව්‍යාපෘතිය යටතේ ආයෝජනය කිරීමට අපේක්ෂිතය.

    ඒ අනුව තෝරාගනු ලැබ ඇති දේශීය ආයෝජකයින් වෙත පළමු වසර 05 සඳහා බදු විරාම කාලයක් සහිතව වසර 35 ක කාලයක් සඳහා ඉඩම් කොටස් බදු දීමට නියමිතය.

    යෝජිත ඖෂධ නිෂ්පාදන කලාපය ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියමන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.