අපනයන ඇණවුම් ඉදිරි අවුරුදු දෙකකට පිරිලා – කර්මාන්තශාලා අඛණ්ඩව පවත්වා ගෙන යාමේ වැදගත්කම භාණ්ඩාගාර ලේකම් අවධාරණය කරයි

    July, 30, 2021

    මෙරට ප්‍රධාන පෙළේ අපනයනකරුවන් පිරිසක් සමඟ පැවති රැස්වීමක දී ඉදිරි අවුරුදු දෙකක කාලයක් සඳහා ඔවුන්ගේ ඇණවුම් පොත් පිරී ඇති බව සඳහන් කළ බව භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා පවසයි. ‘වසංගතය හමුවේ ආර්ථික කළමනාකරණය‘ මැයෙන් අද (30) උදෑසන zoom තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව අනාවරණය කළේය. එබැවින් කර්මාන්තශාලාවල ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා සේවකයින් එන්නත්කරණය කිරීම සිය ප්‍රමුඛතාවය බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

    මෙහිදී අදහස් දැක්වූ භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා,

    “ලොක්ඩවුන් එකක් ඇතිවුණොත් ඒක පොදුවේ රටේ ආර්ථික කටයුතුවලට යම්කිසි පසුබෑමක් ඇතිවෙනවා. එතකොට මුලු ක්‍රියාකාරීත්වයම අඩපණ වෙනවා. අපිට පේන විදියට එන්නත්කරණය තමයි අපිට මෙය යම්තාක් දුරකට කළමනාකරණය කර ගන්න තිබෙන එකම අවිය. මට අද උදේ BOI සභාපතිතුමා කතා කළා. එයා කිව්වා, මේ අවුරුද්ද පුරාම ෆැක්ටරීස්වල ඊයේ (29) තමයි වැඩිම සේවක පිරිසක් ආපු දවස. ඒක තමයි වෙන්න ඕනේ. ඒක තමයි සුභදායී පැත්ත. මට රැස්වීමක දී ප්‍රධාන පෙළේ අපනයනකරුවන් කිව්වේ අපේ order books අවුරුදු දෙකකට පිරිලා කියලා. ඉදිරිය ගොඩාක් ස්ථාවර තත්ත්වෙක තියෙනවා. අපිට විදේශ විනිමය අමාරුකම් තත්ත්වයක තුළ වුණත් කොහොම හරි මේ වැක්සීන් එක මුදල් හොයලා දෙන එක මගේ හැටියට ප්‍රමුඛතාවයක් ලෙස මම කරනවා.“