අපනයන ඉපැයීම් රට වෙත ගෙන්වා ගැනීම සහ ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කිරීම: මෙම ක්‍රියාමාර්ගවල අවශ්‍යතාව කුමක්ද?

    February, 24, 2021

    2021 පෙබරවාරි මස 18 වන දින මුදල් මණ්ඩලය විසින්, අපනයන මගින් උපයන ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම හා එකී මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කිරීමට අදාළ රීති ප්‍රකාශයට පත් කළ අතර, මේ සම්බන්ධයෙන් මෙහෙයුම් උපදෙස් බලපත්‍රලාභි බැංකු වෙත නිකුත් කරන ලදී.

    අපනයන මගින් උපයන ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දැනට පවතින රීතිවලට අමතරව ඉහත රීති සහ මෙහෙයුම් උපදෙස් නිකුත් කර ඇති අතර, ඒ්වා නිකුත් කරනු ලැබුවේ රටෙහි විදේශ විනිමය තත්ත්වය ශක්තිමත් කිරීම සහ විනිමය අනුපාතයේ අධික විචලන සඳහා හේතුවන සමපේක්ෂණ ක්‍රියාකාරකම් සීමා කිරීම සඳහා ය.

    මෙම රීති සහ මෙහෙයුම් උපදෙස් නිකුත් කළ පසු, එමගින් ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සිය ව්‍යාපාර දේශීය වශයෙන් පුළුල් කිරීම සම්බන්ධයෙන් අධෛර්යවත් වන බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළ වී තිබිණි. අපනයනකරුවන් විසින් නිත්‍යානුකූලව උපයාගත් මුදල් බැංකු පද්ධතිය සහ රජය මගින් අයථා ලෙස අය කර ගන්නා බව ද මෙම වාර්තා මගින් කියැවිණි.

    ශ්‍රී ලංකාවේ බොහෝ අපනයනකරුවන් දැනටමත් ඔවුන්ගේ විදේශ විනිමය ඉපැයීම්වලින් විශාල කොටසක් ශ්‍රී ලංකාව වෙත ප්‍රේෂණය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැහැදිලි කර සිටියි. එසේම, මෙම අපනයනකරුවන් විසින් දේශීයව සිදුකරන ගෙවීම් සඳහා මෙසේ ප්‍රේෂණය කෙරෙන විදේශ විනිමය ඉපැයීම්වලින් සැලකිය යුතු කොටසක් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කරනු ලබයි. එම නිසා විදේශ විනිමය ඉපැයීම් ශ්‍රී ලංකාව වෙත ප්‍රේෂණය කර, එයින් සියයට 25ක් ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කිරීමේ අවශ්‍යතාව අපනයනකරුවන් වෙත විශාල බලපෑමක් ඇති නොකරයි. තවද, අපනයන ව්‍යාපාරවල දේශීය අගය එකතු කිරීම කර්මාන්තයෙන් කර්මාන්තයට වෙනස් වන අතර, විදේශ විනිමය ඉපැයීම්වලින් සියයට 25ක් ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු  කිරීමේ අවශ්‍යතාව මගින් දේශීය අගය එකතු ක‍ිරීම එම මට්ටමටවත් තවමත් ළගාවී නොමැති අපනයන අංශවලට එසේ කිරීම සඳහා දිරි ගන්වනු ඇත. මෙවැනි ක්‍රියාමාර්ග අප කලාපයේ ශක්තිමත් අපනයන කාර්යසාධනයක් පෙන්නුම් කර ඇති ආර්ථිකයන් අතර ද භාවිත වේ. එම රටවල මේ සම්බන්ධ රෙගුලාසි විවිධාකාර දැඩි ස්වභාවයන් ගන්නා අවස්ථා ද පවතී.

    තවද‍, අපනයන මගින් උපයන ලද විදේශ මුදල්වලින් සියයට 25ක් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමෙන් පසුව එම රුපියල්වල හිමිකාරිත්වය ද තවදුරටත් අපනයනකරු සතු වන අතර, විදේශ මුදල්වලින් ඉතිරි සියයට 75 ද අපනයනකරුවන්ගේ අභිමතය පරිදි ආනයනික යෙදවුම් මිලදී ගැනීමට, විදේශ මුදල්වලින්ම ඉතිරි කිරීමට හෝ තවදුරටත් ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කිරීමට යොදා ගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.

    බලපත්‍රලාභී බැංකුවලට අපනයනකරුවන් එසේ හුවමාරු කරන විදේශ මුදල්වලින් සියයට 50ක් (එනම් අපනයනකරුවන්ගේ සමස්ත විදේශ විනිමය ඉපැයීම්වලින් සියයට 12.5ක්) මහ බැංකුවට විකිණීමේ අවශ්‍යතාවක් නියම කර ඇත්තේ රටේ විදේශ විනිමය සංචිත, ණය නොවන මූලාශ්‍ර යොදා ක්‍රමයෙන් ඉහළ මට්ටමකට ගොඩ නංවා ගැනීමටයි. දැනටමත් හදුන්වා දී ඇති විවිධ පහසුකම් සහ රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තිවල සහයෝගය ද සමඟ රටේ විදේශ විනිමය උපයා දෙන අංශ ප්‍රවර්ධනය කෙරෙමින් පවතින අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එසේ විදේශ මුදල් අවශෝෂණය කිරීම තුළින් ශ්‍රී ලංකාවට විදේශ ණය මත යැපීමෙන් මිදී රටෙහි ම  අරමුදල් මත රඳා පැවතීමට හැකිවනු ඇත. ඒ අතර ම, මෙමගින් ශ්‍රී ලංකාවේ ණය තත්ත්වය ශක්තිමත් වීම, විනිමය අනුපාතයේ ස්ථාවර බව වැඩිදියුණු වීම සහ ආර්ථිකයෙහි අභියෝගවලට මුහුණදීමේ හැකියාව වර්ධනය වීම සාක්ෂාත් වනු ඇත.