• Ada Derana BIZ Sinhala
  • crore
  • sri lanka
  • yesterday

ඊයේ කෝටි 13,000 ක් අච්චු ගහලා

November, 16, 2022

ඊයේ (15) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විශේෂ භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් සිදුකර තිබේ.

මෙම නිකුතුවේ වටිනාකම රු. මිලියන 129,920.41 ක් හෙවත් රු. කෝටි 12,992 කි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඊයේ (15) දින, ණය සේවාකරණ ගෙවීම් මූල්‍යයනය කරගැනීම සඳහා මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම මත මෙම නිකුත් කිරීම සිදුකළ බවයි.

මේ අනුව ඊයේ (15) දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණයෙහි මුහුණත වටිනාකම රු. මිලියන 2,570,671.54 ක් වූ අතර මෙම වටිනාකම නොවැම්බර් 14 දින දැක්වුණේ රු. මිලියන 2,440,751.13 ක් ලෙසයි.

මෙලෙස මහ බැංකුව වෙත භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් කිරීමේ දී මහ බැංකුව විසින් නව මුදල් ප්‍රවාහයක් මුදා හැරීමක් සිදුකරනු ලබන අතර එය හැඳින්වීම සඳහා ‘සල්ලි අච්චු ගැසීම‘ (Money printing) යන සාමාන්‍ය ව්‍යවහාරය භාවිත වේ.

මහ බැංකුව රජය සමඟ සිදු කරන ගනුදෙනු අතර ප්‍රධාන තැනක් ගන්නේ මහ බැංකුව විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් මිලට ගැනීම සහ රජයට තාවකාලික අත්තිකාරම් සැපයීමයි.

රජයේ මුදල් අවශ්‍යතා සඳහා රජය විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම්වල දී මුදල් නීති පනතින් ලැබී ඇති බලතල අනුව ඒවායින් යම් කොටසක් මහ බැංකුවේ අභිමතය පරිදි සහ සමස්ත මුදල් සැපයුමට අහිතකර ලෙස බලනොපාන පරිදි මිල දී ගැනීමට මහ බැංකුවට හැකිය.

එසේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමේ දී එහි අගයට සමාන මුදල් ප්‍රමාණයක් නව මුදල් නිකුත් කිරීම් ලෙස ආර්ථිකයට මුදා හැරීම සිදුවේ.

ඊයේ (15) දිනයේ දී සිදු වී ඇත්තේ ද එවැන්නකි.