අරවින්ද ද සිල්වා තවත් සමාගමක් අත්පත් කර ගනී

    July, 8, 2026

    මෙරට ලැයිස්තුගත සමාගමක් වන Industrial Asphalts (Ceylon) PLC හි පාලක කොටස් අයිතිය විකිණීම සඳහා ගිවිසුමකට එළඹි බව එම සමාගම වෙනුවෙන් එහි සමාගම් ලේකම්වරයා වන NINECAP CORPORATE SOLUTIONS (PVT) LTD විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

    ඒ අනුව Industrial Asphalts (Ceylon) PLC හි විධායක අධ්‍යක්ෂ ගෝවින්දසාමි රමනන් විසින් Arcasia Investment & Trading (Pvt) Ltd සහ ATX Partners (Pvt) Ltd සමාගම් අතර කොටස් මිල දී ගැනීමේ හා විකිණීමේ බන්ධිත ගිවිසුමකට එළඹ තිබේ.

    මෙම ගිවිසුමට අනුව Industrial Asphalts (Ceylon) PLC හි ප්‍රමුඛ කොටස් හිමියා වන එහි විධායක අධ්‍යක්ෂ ගෝවින්දසාමි රමනන් විසින් තමා සතු කොටස් බිලියන 1.8 (1,800,693,010) ක් අලෙවි කර ඇති අතර එය සමාගමේ නිකුත් කළ කොටස් ප්‍රාග්ධනයෙන් 48.03%ක ප්‍රමාණයක් වේ.

    මීට අමතරව සමාගමේ දෙවැනියට විශාලතම කොටස් හිමියා වන ශ්‍රීකුමාර් බාලසුබ්‍රමනියම් සමඟින් ද Arcasia Investment & Trading (Pvt) Ltd සහ ATX Partners (Pvt) Ltd සමාගම් විසින් තවත් ගිවිසුමකට එළඹ තිබේ. ඒ ඔහු සතු කොටස් මිලියන 80ක් මිල දී ගැනීම වෙනුවෙනි. එය සමාගමේ නිකුත් කළ කොටස් ප්‍රාග්ධනයෙන් 2.13%ක ප්‍රමාණයකි.

    මේ අනුව Arcasia Investment & Trading (Pvt) Ltd සහ ATX Partners (Pvt) Ltd විසින් Industrial Asphalts (Ceylon) PLC හි කොටස් බිලියන 1.88 (1,880,693,010)ක ප්‍රමාණයක් අත්පත් කර ගැනීම වෙනුවෙන් ගිවිසුම්ගත වී ඇති අතර එම සම්පූර්ණ ප්‍රමාණය සමාගමේ නිකුත් කළ කොටස් ප්‍රාග්ධනයෙන් 50.16%ක් වේ.

    Arcasia Investment & Trading (Pvt) Ltd යනු ලෝකපූජිත ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා විසින් ආරම්භ කරන ලද Arcasia Holdings අනුබද්ධිත සමාගමකි. Arcasia Holdings මෙරට ආයෝජන, ප්‍රාග්ධන වෙළෙඳපොළ, ලොජිස්ටික්, රථවාහන, මූල්‍ය සේවා, තොරතුරු තාක්ෂණ සහ තාක්ෂණික සේවා යන අංශයන් හි සිය ව්‍යාපාර මේ වන විට ව්‍යාප්ත කර ඇත.

    මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ අනුමැතීන්ට යටත් වේ.

    අරවින්ද ද සිල්වා හරිස්චන්ද්‍ර මිල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

    May, 13, 2026

    අරවින්ද ද සිල්වා හැටන් ප්ලාන්ටේෂන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

    January, 17, 2025

    අරවින්දගෙන් දැවැන්ත කොටස් ගනුදෙනුවක්

    April, 5, 2024