අර්ථසාධක අරමුදලේ කොටස් වෙළෙඳපොළ ආයෝජන ලාභදායි මට්ටමට පැමිණෙයි. වැඩිම ලාභ ධම්මිකගේ සහ ඉෂාරගේ සමාගම්වලින්

    August, 10, 2021

    සේවක අර්ථසාධක අරමුදල (EPF) විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල සිදුකර ඇති ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම 2021 ජූනි 30 දිනට රු. බිලියන 83.50 ක් බව නවතම වාර්තා පෙන්වා දේ. මෙය 2021 මාර්තු 31 දිනට සටහන්ව තිබූ වෙළෙඳපොළ වටිනාකම වූ රු. බිලියන 77.28 හා සැසඳීමේ දී රු. බිලියන 6.22ක හෙවත් 8% ක සුවිශේෂී වර්ධනයකි.

    මේ වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් ආයෝජනය කර ඇති ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව 70 ක් වේ. 2021 මාර්තු 31 දිනට ඒම සංඛ්‍යාව 72 ක් වූ අතර ඒ අනුව පසුගිය කාර්තුව තුළ දී බොගවන්තලාව වැවිලි සමාගමේ සහ සී.ඩබ්. මැකී සමාගමේ සිදුකර තිබූ ආයෝජනවලින් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට අරමුදල පියවර ගෙන තිබේ. මේ අතර පසුගිය කාර්තුව තුළ දී කොමර්ෂල්, HNB, NDB හා සෙලාන් යන බැංකු සමාගම්වල සිය කොටස් හිමිකාරීත්වය වර්ධනය කර ගැනීමට අරමුදල කටයුතු කර තිබීම විශේෂත්වයකි.

    ලැයිස්තුගත කොටස් ආයෝජනය තුළින් රු. බිලියනය ඉක්මවා ප්‍රාග්ධන ලාභ අත්පත් කර ගෙන ඇති සමාගම් කිහිපයක්ම 2021 ජූනි 30 දිනට වාර්තා වේ. මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික‌යෙකු වන ඉෂාර නානායක්කාර මහතා ප්‍රධානත්වය දරන LOLC හෝල්ඩිංග්ස් හි ආයෝජනයෙන් රු. බිලියන 4.37 ක ලාභයක් අරමුදල ලබා ඇත. ඒමෙන්ම තවත් මෙරට ප්‍රධානතම ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතාගේ පාලකත්වයෙන් යුතු සමාගම් වන රෝයල් සෙරමික් රු. බිලියන 3.75 ක්, වැලිබල් වන් රු. බිලියන 2.78 ක්, ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් හා ‌හේකාර්බ් රු. බිලියන 1 ක් යනා දී ලෙසින් අර්ථසාධක අරමුදලට ලාභ ගෙන දී තිබෙන ආයෝජන වේ. මීට අමතරව රිචඩ් පීරිස් සමාගමේ ආයෝජනයෙන් රු. බිලියන 1.20 ක ලාභයක් සේවක අර්ථසාධක අරමුදල අත්පත් කර ගෙන තිබේ.

    සේවක අර්ථසාධක අරමුදල් කොටස් වෙළෙඳපොළ ආයෝජන කළඹෙහි වැඩිම අලාභ පෙන්වන සමාගම් ලෙසින් ඒ්ෂියන් හොටේල්ස් - රු. බිලියන 1.59 ක්, බුකිට් ඩරා - රු. බිලියන 1.48 ක්, කලම්බු ඩොක්යාර්ඩ් - රු. බිලියන 1.92 ක්, කොමර්ෂල් බැංකුව - රු. බිලියන 1.23 ක්, DFCC - රු. බිලියන 1.93 ක් හා HNB - රු. බිලියන 1.43 දැක්විය හැකිය.

    2021 ජූනි 30 දිනට අරමුදල විසින් කොටස් ‌වෙළෙඳපොළ සමාගම්වල කර ඇති ආයෝජනයන් හි මුළු ගැනුම් පිරිවැය රු. බිලියන 84.07 කි. ඒ්වායේ වෙළෙඳපොළ වටිනාකම රු. බිලියන 83.50 ක් ලෙසින් සටහන් වේ. කොටස් වෙළෙඳපොළ හරහා අරමුදල ලබා ඇති ලාභාංශ ආදායම් මීට අන්තර්ගත නොවේ. මේ අනුව කොටස් ආයෝජන හරහා ලාභ උපයන මට්ටමට අරමුදල පැමිණ ඇති බව කිව හැකිය.

    සේවක අර්ථසාධක අරමුදලින් මෙලෙස කොටස් වෙළෙඳපොළ ආයෝජනය සඳහා වෙන් කර ඇති ප්‍රමාණය 3% ක් තරම් පහළ අගයයක් වේ. අරමුදලේ ආයෝජන කළඹෙන් 93% ක්ම සමන්විත වන්නේ භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් වලිනි. මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.

    ආයෝජන කළඹ
    ආයෝජන වර්ගය 2018 2019
    වටිනාකම (රු.බි.) දායකත්වය (%) වටිනාකම (රු.බි.) දායකත්වය (%)
    භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් 2,119.2 92.2 2,390.4 93.8
    සමාගම් කොටස් 74.9 3.3 75.4 3.0
    සාංගමික ණය උපකරණ 44.8 1.9 42.2 1.7
    ස්ථාවර තැන්පතු 33.6 1.5 25.0 0.9
    ප්‍ර​ති විකුණුම් ‍ගිවිසුම් 26.4 1.1 15.6 0.6
    එකතුව 2,298.8 100.0 2,548.7 100.0

    සේවක අර්ථසාධක අරමුදල ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත්ම පුළුල් සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය වේ. 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත මඟින් පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයන්හි සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස සේවක අර්ථසාධක අරමුදල ස්ථාපිත කරන ලදී. වර්ෂ 2020 අවසාන වනවිට රු. බි. 2824ක වත්කම් කළමනාකරණය කරන සේවක අර්ථසාධක අරමුදල ලංකාවේ විශාලතම විශ්‍රාම වැටුප් ක්‍රමය ලෙස හැඳින්විය හැකිය.

    2021 ජූනි 30 දිනට සේවක අර්ථසාධක අරමුදලේ කොටස් වෙළෙඳපොළ සමාගම් ආයෝජන කළඹ පිළිබඳ ලැයිස්තුව පහතින් දැක්වේ.