අසාමාන්‍ය කොටස් ගනුදෙනු ගැන සමාගම් කිහිපයකින්ම පැහැදිලි කිරීම්

    June, 23, 2021

    පසුගිය දින කිහිපය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් කිහිපයකම කොටස් මිල ගණන් සීඝ්‍රයෙන් විචලනය වනු දක්නට ලැබුණි.

    ඇසෝසියේටඩ් මෝටර් ෆයිනෑන්ස්, LOLC ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් හා බුකිට් ඩාරා යන සමාගම්වල කොටස් මිල ගණන් පසුගිය දින කිහිපය තුළ කැපීපෙනෙන අයුරින් ඉහළ යන ලදී.

    මේ සම්බන්ධයෙන් මීට පෙර ඇසෝසියේටඩ් මෝටර් ෆයිනෑන්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, තම සමාගමේ කොටස් අසාමාන්‍ය ආකාරයකින් ගනුදෙනු වීමට හේතුවන ආකරයේ කිසිදු අනාවරණය නොකරන ලද තොරතුරක් නොමැති බවයි.

    ඒසේම අද (23) දිනයේ දී බුකිට් ඩාරා සමාගම, කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ලිපියක් නිකුත් කරමින් දන්වා සිටින්නේ තම සමාගමේ කොටස් සම්බන්ධයෙන් වාර්තා වී තිබෙන අසාමාන්‍ය ගනුදෙනු පිළිබඳව සමාගමේ දැනුවත් භාවයක් නොමැති බවයි. ඒසේම කිසිදු අනාවරණය නොකරන ලද මිල සං‌වේදී තොරතුරක් නොමැති බව ද බුකිට් ඩාරා පීඒල්සී වෙනුවෙන් ඒහි සමාගම් ලේකම්වරයා වන Carsons Management Services (Private) Limited අවධාරණය කර සිටී.

    මෙසේ ඇතැම් සමාගම්වල කොටස් මිල ගණන් කෙටි කාලයක් තුළ සීඝ්‍රයෙන් ඉහළ යන අවස්ථාවල දී ආයෝජකයින් වඩාත් කල්පනාකාරී විය යුතුය. මක් නිසාද යත් ඒය ඉහළ අවදානමක් ගෙන දෙන අවස්ථාවක් වන බැවිනි. ඉහළ අවදානමක් ඉහළ ප්‍රතිලාභයක් ගෙන දුන්න ද ඒහි ප්‍රතිවිරුද්ධ ප්‍රතිවිපාකය ද ඒයාකාරම වන බව ආයෝජකයින් තරයේ සිහිතබා ගත යුතු වේ.