ආයෝජන මණ්ඩලයේ නව සභාපති දුමින්ද හුලංගමුව වැඩ භාර ගනී

    July, 1, 2026

    විදේශ සෘජු ආයෝජන සහ අපනයන වර්ධනය ඉහළ නැංවීම සඳහා අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය තවදුරටත් ශක්තිමත් කරනු ලබන බව ආයෝජන මණ්ඩලයේ නව සභාපති දුමින්ද හුලංගමුව මහතා පවසයි. ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අද (01) කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී රාජකාරි ආරම්භ කරමින් හුලංගමුව මහතා මෙසේ පැවසීය.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සතුව තිබූ පැරණි බලය සහ කාර්යක්ෂමතාව නැවත ස්ථාපිත කර, එය 2005 වසරට පෙර පැවැති ආකාරයටත් වඩා ශක්තිමත් දේශපාලන අනුග්‍රහයක් සහ අන්තර්-ආයතනික බලපෑමක් සහිත, ආයෝජකයන් සඳහා "එකම වහලක් යටින් සියළු සේවා සපයන මධ්‍යස්ථානයක්" (one-stop shop) බවට පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති දුමින්ද හුලංගමුව මහතා වැඩිදුරටත් කියා සිටියේය.