ආසිරි ශල්‍ය රෝහල ශ්‍රී ලංකාවේ ප්‍රථම රොබෝ ආධාරිත ශල්‍යකර්මය සාර්ථකව සිදු කරයි

    July, 20, 2026

    ආසිරි ශල්‍ය රෝහල ශ්‍රී ලංකාවේ ප්‍රථම රොබෝ ආධාරිත ශල්‍යකර්මය (Robot Assisted Surgery) සාර්ථකව සිදු කරමින් මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. පළමු ශල්‍යකර්මය 2026 ජූලි 13 වැනිදා සාර්ථකව සිදු කළ අතර, මෙතැන් සිට මෙරට රෝගීන්ට විදේශගත නොවී ලෝක මට්ටමේ ශල්‍යකර්ම තාක්ෂණයේ ප්‍රතිලාභ ශ්‍රී ලංකාව තුළම ලබාගැනීමේ අවස්ථාව උදා වී තිබේ. මේ හරහා ආසිරි ශල්‍ය රෝහලේ පළපුරුදු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් විසින් විවිධ ශල්‍ය විශේෂතා යටතේ මෙම තාක්ෂණය භාවිත කරමින්, නවීන තාක්ෂණය සහ සායනික විශේෂඥත්වය එක් කළ ශල්‍ය ප්‍රතිකාර රෝගීන්ට ලබාදීමට නියමිතය.

    ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික සෞඛ්‍යය සේවා සමූහය වන ආසිරි, නවීන වෛද්‍ය තාක්ෂණය, විශේෂඥ වෛද්‍ය දැනුම සහ යටිතල පහසුකම් සඳහා අඛණ්ඩව ආයෝජනය කරමින් රෝගීන්ට උසස් ප්‍රතිකාර සේවාවන් සමීප කර ඇත. රොබෝ ආධාරිත ශල්‍යකර්ම තාක්ෂණය හඳුන්වාදීමත් සමඟ, ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූල ශල්‍ය ප්‍රතිකාර මෙරට තුළම ලබාදීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් වී ඇත.

    ලොව රටවල් 60කට අධික සංඛ්‍යාවක භාවිත වන මෙම රොබෝ ශල්‍යකර්ම පද්ධතිය මඟින්, උසස් තත්ත්වයේ ත්‍රිමාන (3D) දෘශ්‍ය තාක්ෂණය සහ නිරවද්‍ය පාලනය ඔස්සේ සංකීර්ණ ශල්‍යකර්ම වඩාත් නිරවද්‍යව සිදු කිරීමට විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ට හැකියාව ලැබේ. කුඩා කැපුම්, අවට පටකවලට සිදුවන හානිය අවම කිරීම සහ වැඩි ශල්‍ය නිරවද්‍යතාව හේතුවෙන් සැත්කමෙන් පසු වේදනාව හා රුධිර වහනය අඩු වීම, රෝහලේ රැඳී සිටින කාලය කෙටි වීම සහ ඉක්මන් සුවය වැනි ප්‍රතිලාභ රෝගීන්ට හිමි වේ.

    මේ පිළිබඳ අදහස් දැක්වූ ආසිරි ශල්‍ය රෝහලේ මෙහෙයුම් අධ්‍යක්ෂ වෛද්‍ය හැරී ප්‍රසාද් මහතා මෙසේ පැවසීය. "සෞඛ්‍යය  සේවාවේ සැබෑ දියුණුව ඇති වන්නේ වෛද්‍ය හැකියාවන්, තාක්ෂණය සහ මානව සම්පත සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීම තුළින් බව අප විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම රොබෝ ආධාරිත ශල්‍යකර්මය සාර්ථකව සිදු කිරීම එම දැක්ම තවදුරටත් තහවුරු කරන සුවිශේෂී පියවරක්. මෙම තාක්ෂණය මඟින් අපගේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ට සංකීර්ණ ශල්‍යකර්ම වඩාත් නිරවද්‍යව සිදු කිරීමට හැකිවන අතර, රෝගීන්ට ද වඩාත් සුරක්ෂිත සහ පහසු ශල්‍යකර්ම අත්දැකීමක් හිමි වෙනවා. යුරෝපීය නියාමන ප්‍රමිතීන්ට අනුකූල මෙම නවීන තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ලැබීම පිළිබඳ අප සතුටු වන අතර, ඉදිරියටත් රෝගී ආරක්ෂාව, සායනික විශිෂ්ටත්වය සහ ප්‍රතිකාර ප්‍රතිඵල ඉහළ නැංවීම අපගේ ප්‍රමුඛතාව ලෙස පවතිනු ඇත."

    ශ්‍රී ලංකාවේ ප්‍රථම රොබෝ ආධාරිත ශල්‍යකර්මය සාර්ථකව සිදු කිරීමත් සමඟ, ආසිරි ශල්‍ය රෝහල මෙරට රෝගීන්ට ලෝක මට්ටමේ ශල්‍ය ප්‍රතිකාර පහසුකම් වඩාත් සමීප කරමින් සෞඛ්‍යය සේවාවේ නව පියවරක් තබා තිබේ.