June, 10, 2026
1991 ඉන්දියානු ආර්ථික අර්බුදයේ සත්‍ය සිදුවීම් මත පදනම්ව නිර්මාණය වූ The Silent Saviour: Governor චිත්‍රපටය එළඹෙන සිකුරාදා (ජූනි 12) සිට තිරගත වීම ආරම්භ වීමට නියමිතය.
එම කාලවකවානුවේ දී (1990 - 92) ඉන්දියාවේ මහ බැංකුව වන ඉන්දීය සංචිත බැංකුවේ (The Reserve Bank of India -RBI) අධිපතිවරයා වූ S. Venkitaramanan ගේ භූමිකාව මෙම චිත්‍රපටයේ දී චිත්‍රපටයට නගා ඇත. 1991 ඉන්දියානු ආර්ථික අර්බුදයේ ඉන්දියාව බේරාගත් ‘නිහඬ ගැළවුම්කරුවා‘ (The Silent Saviour) ලෙසින් මෙහිදී ඔහුව හඳුන්වා ඇති අතර එම සමයේ දී ප්‍රසිද්ධියට පත් නොවූ කතා රැසක් චිත්‍රපටයේ අන්තර්ගත බව පැවසේ.
1991 වසර යනු ඉන්දියාව දැඩි ගෙවුම් ශේෂ අර්බුදකට මුහුණ පෑ වර්ෂයකි. අතීත වාර්තා සඳහන් කරන පරිදි මෙම තීරණාත්මක වසර තුළ ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය, ආනයන සඳහා සති කිහිපයක් දක්වා පමණක් ප්‍රමාණවත් වූ බවයි.
එහි ප්‍රතිඵලයක් ලෙසින් පෙර නොවූ විරූ ඉන්ධන හිඟයකටත්, ඉහළ උදධමනයකටත් මුහුණ දෙන්නට ඉන්දියාවට සිදුවිය. එම අවස්ථාවේ දී ඉන්දියාව බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම වෙනුවෙන් රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා දැඩි, ආක්‍රමණශීලී තීරණ ගැනීමේ දී මහ බැංකු අධිපතිවරයා ලෙසින් Venkitaramanan මුහුණ දුන් දැවැන්ත නිලධාරිවාදී සහ දේශපාලනික බාධක මෙම කතාවෙන් නිරූපණය වේ.
මුහුණ දෙමින් පැවති ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙසින් ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හදිසි සහාය ඉල්ලා තිබේ. එහිදී ඉන්දියාව සතුව පැවති රන් සංචිතයෙන් ටොන් 67ක් රත්‍රං ඇපකරයක් ලෙස තබා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 7ක හදිසි ණයක් ලබා ගැනීමට තීරණය වූ අතර එහිදී වහාම ඩොලර් මිලියන 600ක් ලබා ගැනීම වෙනුවෙන් රත්‍රං ටොන් 47ක් Bank of England වෙත සහ තවත් රත්‍රං ටොන් 20ක් Union Bank of Switzerland (UBS) වෙත ඉන්දියානු සංචිත බැංකුවේ සිට ගුවන් මගින් ප්‍රවාහනය කෙරුණු බව සඳහන් වේ. 1991 ඉන්දියානු මහ මැතිවරණ සමයේ සිදු වූ මෙම ගුවන් රත්‍රං ප්‍රවාහනය ඉතා රහසිගතව සිදුවූවක් ලෙස සැලකේ. මෑත කාලයේ දී වාර්තා වූයේ 2024 වසරේ දී Bank of England සිට රත්‍රං ටොන් 100ක් නැවතත් Reserve Bank of India වෙත ලැබී ඇති බවයි.
ප්‍රවීන බොලිවුඩ් නළු Manoj Bajpayee මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වන ඉන්දීය මහ බැංකු අධිපති S. Venkitaramanan ගේ චරිතයට පණ පොවනු ඇත.
Governor චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක් පහතින් නැරඹිය හැකිය. එම පූර්ව ප්‍රචාරක පටයෙහි ශ්‍රී ලංකාවේ 2022 ආර්ථික අර්බුදය සමයේ සත්‍ය රූප රාමු කිහිපයක් දිස් වීම ද විශේෂත්වයකි.
Video Story