ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ප්‍රධාන බලශක්ති ව්‍යාපෘති සමාලෝචනය කරයි; බලශක්ති හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට ඇති කැපවීම යළි තහවුරු කරයි

    August, 11, 2026

    බලශක්ති ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව සමාලෝචනය කිරීම සඳහා ඉන්දියා - ශ්‍රී ලංකා හමුවක් පසුගිය සිකුරාදා (07) නවදිල්ලියේ දී පැවැත්විණි.  The Hindu Businessline වාර්තා කළ පරිදි මෙම සාකච්ඡාව ඉන්දීය මධ්‍යම බලශක්ති සහ නිවාස හා නාගරික කටයුතු අමාත්‍ය මනෝහර් ලාල් හා වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

    මෙහිදී අමාත්‍යවරුන් විසින් යෝජිත ඉන්දියා-ශ්‍රී ලංකා අධි වෝල්ටීයතා සෘජු ධාරා (HVDC) අන්තර් සම්බන්ධතාවය සහ සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ඇතුළු දැනට ක්‍රියාත්මක ද්විපාර්ශ්වික මූලාරම්භයන්හි ප්‍රගතිය විමසා බලනු ලැබූ බව The Hindu Businessline වැඩිදුරටත් වාර්තා කරන අතර කලාපීය බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවීම සහ පිරිසිදු බලශක්ති සංක්‍රාන්තියට සහාය වීම සඳහා දේශසීමා විදුලි වෙළඳාම, පුනර්ජනනීය බලශක්තිය, සම්ප්‍රේෂණ යටිතල පහසුකම් සහ ධාරිතා වර්ධනය පිළිබඳ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳව ද ඔවුන් සාකච්ඡා කර ඇත.

    රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ආකෘතියක් ලෙස තීරුබදු පදනම් කරගත් තරඟකාරී ලංසු තැබීමේ (TBCB) රාමුව හරහා සම්ප්‍රේෂණ පද්ධති සංවර්ධනය කිරීමේ ඉන්දීය අත්දැකීම් ද එහිදී බෙදා ගන්නා ලදී. පවතින ද්විපාර්ශ්වික යාන්ත්‍රණයන්හි ප්‍රගතිය සමාලෝචනය කළ දෙපාර්ශවයම, තිරසාර සංවර්ධනය සහ කලාපීය බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සිය කැපවීම යළි තහවුරු කළහ.

    මනෝහර් ලාල් අමාත්‍යවරයා දීර්ඝකාලීන ඉන්දියා-ශ්‍රී ලංකා බලශක්ති හවුල්කාරිත්වය වෙනුවෙන් ඉන්දියාවේ කැපවීම යළි අවධාරණය කළ අතර අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය අගය කරමින් ද්විපාර්ශ්වික බලශක්ති සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට ශ්‍රී ලංකාවේ ඇති සූදානම ප්‍රකාශ කළේය.