ඉෂාර නානායක්කාර HNB බැංකුවේ බලය වැඩිකර ගනී

    May, 5, 2021

    මෙරට දෙවන විශාලතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැන්ක් පීඒල්සී හි කොටස් හිමිකාරීත්වය 9.99% ක් දක්වා වැඩි කරගැනීමට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ඊයේ (04) සමත් විය. ඒ ඊයේ දිනයේ දී හැටන් නැෂනල් බැංකුවේ තවත් කොටස් 8,444,395 ක් රු. 130.00 බැගින් මිල දී ගැනීමත් සමඟිනි. මේ අනුව හැටන් නැෂනල් බැන්ක් පීඒල්සී හි විශාලතම තනි කොටස්කරුවා බවට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඒල්සී මේ වන විට පත්ව ඇත.

    බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී පවසන්නේ මේ වන විට හැටන් නැෂනල් බැංකුවේ කොටස් මිලියන 42 ක් ඉක්මවා තමන් සතු බවත් ඒ වෙනුවෙන් රු. බිලියන 5.52 ක් ආයෝජනය කර ඇති බවත්ය.

    කෙසේ වෙතත් හැටන් නැෂනල් බැංකුවේ වැඩි අයිතිය මේ වන විට මෙරට ප්‍රමුඛ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාගේ පාලනය යටතේ පවතින්නේ ඔහුගේ පාලනයේ තිබෙන Milford Exports (Ceylon) Ltd, Stassen Exports Ltd සහ Distilleries යන සමාගම් තුන හැටන් නැෂනල් බැංකුවේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 17.83% කට ඒක්ව හිමිකම් කියන බැවිනි. මීට අමතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අරමුදල් ගිණුම් දෙකක් හරහා හැටන් නැෂනල් බැංකුවේ 13.35% ක කොටස් අයිතියකට හිමිකම් කියනු ලැබේ.

    බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි 46.06%ක කොටස් අයිතිය Brown and Company සතු වන අතර Brown and Company හි ආසන්න වශයෙන් 70% ක කොටස් අයිතියක් LOLC හෝල්ඩිංග්ස් සතුව පවතී. LOLC හි ඉෂාර නානායක්කාර සතු කොටස් හිමිකාරීත්වය සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 80%ක් පමණ වේ.