එමිරේට්ස් කොළඹ මෙහෙයුම් වසර 40 ක් පිරීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව ලෝකයට සම්බන්ධ කරයි

    June, 18, 2026

    ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවාව වන එමිරේට්ස්, ශ්‍රී ලංකාව වෙත සිය සේවා ආරම්භ කර වසර 40ක් සම්පූර්ණ වීම මෙම වසරේ සනිටුහන් කරයි. 1986 අප්‍රේල් මාසයේදී සිදු කළ පළමු ගුවන් ගමනෙන් ආරම්භ වූ මෙම මෙහෙයුම් කාලය තුළ, එමිරේට්ස් විසින් මගීන් මිලියන 15කට අධික සංඛ්‍යාවක් ගුවන් ගමන් 97,000කට වැඩි ප්‍රමාණයක් හරහා ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලංකාවෙන් පිටතට ප්‍රවාහනය කර ඇත. එසේම, පසුගිය දශක දෙක තුළ පමණක්, ශ්‍රී ලංකාව සහ එමිරේට්ස් ජාලය පුරා ගමනාන්ත අතර භාණ්ඩ ටොන් 403,000කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කර තිබේ.

    දැනට එමිරේට්ස් විසින් කොළඹ සිට දෛනික ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කරමින්, ලොව පුරා ගමනාන්ත 135කට වැඩි සංඛ්‍යාවක් සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් වෙළෙඳාම හා සංචාරක කර්මාන්තය ශක්තිමත් කරයි. කොළඹ ගුවන් ගමන් සඳහා එමිරේට්ස් හි බොයිං 777 ගුවන් යානා මෙන්ම නවතම A350 ගුවන් යානයද යොදා ගැනෙන අතර, මෙම යානා වර්ග සමඟ ප්‍රිමියම් ඉකොනොමි ඇතුළුව පන්ති හතරක ආසන පහසුකම් ලබා දෙයි.

    පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවට පැමිණි මගීන්ගෙන් බහුතරයක් යුරෝපීය රටවලින් ගමන් ආරම්භ කර තිබූ අතර, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය සහ ස්විට්සර්ලන්තය ප්‍රමුඛ විය. එමෙන්ම කොළඹින් පිටත්ව ගිය මගීන් බොහෝ දෙනා ඩුබායි, සෞදි අරාබියේ ගමනාන්ත, එක්සත් රාජධානිය, ඉතාලිය, ප්‍රංශය සහ මැඩගස්කරය වැනි ස්ථාන වෙත ගමන් කර ඇත.

    පාරිභෝගික සම්බන්ධතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා, එමිරේට්ස් සහ ශ්‍රීලන්කන් ගුවන් සේවය 2023 දී  ඇති කරගත් හවුල්කාරිත්වය තුලින් මාර්ග 30ක් ආවරණය වෙයි. මෙම සහයෝගීතාවය මඟින් ඈත පෙරදිග, අප්‍රිකාව, මැදපෙරදිග සහ දකුණු ආසියාවේ ජනප්‍රිය ගමනාන්ත වෙත ගමන් කරන මගීන්ට එක් ටිකට්පතක් යටතේ පහසු සම්බන්ධතා සහ ගුවන් සේවා දෙකේම ජාල වෙත ප්‍රවේශයක් ලබා දේ.

    පසුගිය වසරේදී, කොළඹ වෙත සහ කොළඹින් ගමන් කරන මගීන් සඳහා උසස් ගුවන් ගමන් අත්දැකීමක් ලබාදීමේ සිය කැපවීම තවදුරටත් තහවුරු කරමින්, එමිරේට්ස් සිය නවතම A350 ගුවන් යානයේ ප්‍රිමියම් ඉකොනොමි පන්තිය හඳුන්වා දුන්නේය. එමෙන්ම EK650/651 ගුවන් ගමන් සඳහා යොදා ගන්නා නවීකරණය කළ B777 ගුවන් යානය හරහා පන්ති හතරම නවීකරණය කරමින් නවීන හා උසස් ගුවන් ගමන් අත්දැකීමක් මගීන්ට ලබා දී ඇත

    වසර ගණනාවක් පුරා එමිරේට්ස් විසින් විශිෂ්ට මගී අත්දැකීමක් ලබා දෙමින්, ඉකොනොමි පන්තියේදී ගෙවන ගාස්තු අනුව කිලෝග්‍රෑම් 23ක් දක්වා ගමන් මලු ප්‍රවාහන පහසුකම් සහ පලමු හා ව්‍යාපාරික පන්ති සඳහා මගියෙකුට කිලෝග්‍රෑම් 32 බැගින් ගමන් මලු දෙකක් රැගෙන යාමේ පහසුකම් ලබා දෙයි. එමෙන්ම සියලුම මගීන්ට සම්මානලාභී සූපවේදීන් විසින් සකස් කරන ලද කලාපීය රසයන්ගෙන් යුත් ආහාර සහ සිංහල හා දෙමළ අන්තර්ගතයන් ඇතුළුව විනෝදාස්වාද නාලිකා 6,500කට වැඩි සංඛ්‍යාවක් පිරිනමනු ලැබේ.