කටුනායක පිහිටි Ecocycle පෙරසැකසුම් ඒකකයේ ගින්න මැඬපැවැත්වේ

    February, 3, 2021

    කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි INSEE Ecocycle ආයතන පරිශ්‍රයේ පිහිටි ගොඩනැගිල්ලක අද (2021 පෙබරවාරි 3 වැනිදා) අලුයම භාගයේ ගින්නක් ඇතිවිය. කෙසේ නමුත් ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ, කටුනායක නිදහස් වෙළෙඳ කලාප ගිනි නිවීමේ ඒකකයේ සහ කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සහාය ලබාගනිමින්, වහාම ගින්න මැඬ පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනුණි. ඒ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මඟපෙන්වීම ද හිමිවිය. ගින්නට  හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතී.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් INSEE Ecocycle ආයතනය වැඩිදුරටත් මෙසේ කියා සිටී.

    “මෙම අවස්ථාවේදී තම සහයෝගය ලබාදුන් ආයෝජන මණ්ඩලයට, ශ්‍රී ලංකා රේගුවට, පොලිසියට, සීදුව/කටුනායක සහ කටාන ප්‍රාදේශීය සභාවන්ට, මධ්‍යම පරිසර අධිකාරියට, කටුනායක මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට, හේලීස් ඇඩ්වාන්ටිස් ලිමිටඩ් සමාගමට මෙන්ම INSEE කාර්ය මණ්ඩලයට ද අපගේ විශේෂ කෘතවේදීත්වය පිරිනැමේ.“

    “ශ්‍රී ලංකාව තුළ පූර්ණ අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් සම්පාදනයේ ප්‍රමුඛයා වන INSEE Ecocycle යනු INSEE සිමෙන්ති ශ්‍රී ලංකා සමාගමට අනුබද්ධිත කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණ ආයතනයකි. 2003 වසරේදී ‘සහසැකසුම්‘ ක්‍රමවේදය, කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුමක් ලෙස හඳුන්වා දුන් INSEE Ecocycle සමාගම යටතේ මේ වනවිට සම්පත් ප්‍රතිසාධනය, සමස්ත සේවා විසඳුම්, විශ්ලේෂණාත්මක හා රසායනාගාර සේවා, විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය, කාර්මික පිරිසිදුකරණ සේවා සහ හදිසි ප්‍රතිචාර දැක්වීම ඇතුළු සේවා රැසක් ක්‍රියාත්මක වේ.“