September, 3, 2026
ඉන්දීය රජයේ සහයෝගය ඇතිව කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම සඳහා සැලසුම් කරන ඉන්දු - ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් කඩිනමින් අවසන් කිරීම වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ දී අද (03) පෙරවරුවේ දී පැවැත්විණි.
මෙම සාකච්ඡාව බලශක්ති, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ මූලිකත්වයෙන් පැවත් අතර ඉන්දීය රජය නියෝජනය කරමින්, නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් මෛත්‍රී කුල්කර්නි මහතා (Maitrey Kulkarni) සමඟ නියෝජිත පිරිසක් සාකච්ඡාවට සහභාගී විය. නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල, වරාය අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් පිරිසක් සාකච්ඡාවට එක් වූහ.
මෙම සාකච්ඡාවේදී අවබෝධතා ගිවිසුමේ තිබෙන යම් ගැටළු පිළිබඳව විශේෂ අවධානය යොමු වූ අතර, දෙපාර්ශවයම ඉතා සාර්ථකව එම ගැටළු ගැන පුළුල්ව සාකච්ඡා කර එකඟතාවයන්ට පැමිණි බව නිවේදනයක් නිකුත් කරමින් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
කන්කසන්තුර වරාය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් දෙරට අතර තිබෙන මඟී ප්‍රවාහන සේවාව මෙන්ම, භාණ්ඩ ප්‍රවාහනය ද සාර්ථකව සිදු කිරීමට අවස්ථාව උදා වේ.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය සඳහා ඒකාබද්ධ අධීක්ෂණ කමිටුවක් හා තාක්ෂණික කමිටුවක් පිහිටුවීමට ද යෝජනා විය.
සාකච්ඡාවේ ප්‍රගතිය ඉතා ඉක්මනින් ඉන්දීය රජයට ඉදිරිපත් කරමින්, අවසාන තීරණය ඉක්මනින් ලබා දීමට ඉන්දීය නියෝජිත පිරිස එකඟතාව පළ කළහ.
මෙම ව්‍යාපෘතිය මඟින් ඉන්දියාව සහ උතුරු ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම, උතුරු ප්‍රදේශයේ වරාය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ කලාපීය ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ. එමෙන්ම උතුරේ දමිළ ජනතාවට ද එම වරප්‍රසාද භුක්ති විඳීමට අවස්ථාව උදා වේ.
2026 පෙබරවාරි මාසයේදී අමාත්‍යවරයා කන්කසන්තුරේ වරායේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, මෙම ව්‍යාපෘතිය ඉක්මනින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සිදු කෙරුණි. ඊට අමාත්‍යාංශයේ නිලධාරීන් සහ වරාය අධිකාරියේ කළමනාකරණයට ද අවශ්‍ය උපදෙස් ලබා දුන් අතර, ඉදිරි කෙටි කාලයකදී අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සිදු කරන බවද ප්‍රකාශ කළේය.
Video Story