කමන්ත අමරසේකරගෙන් රු. කෝටි 5ක ‘කොටස් තෑග්ගක්‘

    September, 29, 2021

    බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි අධ්‍යක්ෂවරයෙකු වන කමන්ත අමරසේකර මහතා විසින් තමන් සතුව තිබූ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් කොටස් මිලියන 5 ක් ත්‍යාගයක් ලෙස හෙල්පේජ් ශ්‍රී ලංකා ආයතනය වෙත පිරිනමා ඇත.

    මෙය ඊයේ (28) දින කොළඹ කොටස් වෙළෙඳපොළ Crossing ගනුදෙනුවක් ලෙස හුවමාරු වූ අතර එහිදී එක් කොටසක් සඳහා මිල නියම වී තිබුණේ රු. 9.90 ක් වශයෙනි.

    මේ අනුව කමන්ත අමරසේකර විසින් රු. මිලියන 49.5 ක වටිනාකමකින් යුතු කොටස් ප්‍රමාණයක් හෙල්පේජ් ශ්‍රී ලංකා ආයතනය වෙත පරිත්‍යාග කර ඇත. අද දිනයේ දී බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ටස් කොටසක් රු. 10.60 ක් දක්වා ඉහළ මිලකට ද ගනුදෙනු වූ අතර ඒ අනුව අදාළ පරිත්‍යාගයේ වෙළෙඳපොළ වටිනාකම මේ වන විට රු. මිලියන 50 ක් හෙවත් රු. කෝටි 5 ක් ඉක්මවා තිබේ.

    පසුගිය වසරේ දෙසැම්බර් 22 දින බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි කොටස් මිලියන 750 ක් කමන්ත අමරසේකර විසින් මිල දී ගනු ලැබීය. ඒ එක් කොටසක් රු. 4.00 බැගිනි. එම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රු. බිලියන 3 ක් වූ අතර අද වන විට එම ආයෝජනයේ වටිනාකම රු. බිලියන 8කට ආසන්න වී තිබේ.

    කමන්ත අමරසේකර Kelani Tyres PLC, Lanka Milk Foods (CWE) PLC, Madulsima Plantations PLC, Balangoda Plantations PLC, Eden Hotel Lanka PLC, Ceylon Hotels Corporation PLC, Palm Garden Hotels PLC, සහ AgStar PLC යන ලැයිස්තුගත සමාගම්වල ද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වේ.

    හෙල්පේජ් ශ්‍රී ලංකා මෙරට ලියාපදිංචි පුණ්‍යයාතනයකි.

     

     

    Video Story

    Stock Market

    Exchange Rates