කල්පිටියට Water Villas 50 ක සුඛෝපභෝගී සංචාරක නිකේතනයක්

    July, 21, 2021

    ගෝලීය සංචාරක කර්මාන්ත‍යේ ඉහළ පෙලේ ජාත්‍යන්තර සංචාරකයින් ආකර්ශනය කර ගැනීම සඳහා සංචාරක කර්මාන්තයේ නිරත ඇතැම් රටවල් විසින් ජල බංගලා සංකල්පය (Water Villas) හඳුන්වා දී ඇත.

    කල්පිටිය සහ අනෙකුත් වෙරළබඩ ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ජල සංචාරක නිවාස සහ ජල බංගලා සංකල්පය භාවිත කළ හැකි බව පෙනී ගොස් තිබේ.

    දූපත් නිකේතන සංකල්පය ප්‍රවර්ධනය කරමින් කල්පිටිය ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා එම ප්‍රදේශයේ පිහිටි දූපත් 12ක් සංචාරක සංවර්ධන අධිකාරිය වෙත දැනටමත් පවරා දී ඇත.

    ඒ අනුව, කල්පිටිය ප්‍රදේශයේ වෙල්ලෙයි I, II සහ III යන දූපත් දිගුකාලීන බද්දට ලබා ගෙන ඇති සීමාසහිත සන් රිසෝට් ඉන්වෙස්ට්මන්ට් ලංකා (පුද්ගලික) සමාගම විසින් ජල සංචාරක නිවාස සහ ජල බංගලා සහිත සංචාරක නිවාස 50කින් සමන්විත සුඛෝපභෝගී සංචාරක නිකේතනයක් ඉදි කිරීම සඳහා ඉදිරිපත් කර ඇති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.