කාගිල්ස් සමාගමේ රු. බිලියන 4ක දැවැන්ත කොටස් ගනුදෙනුවක්

    August, 5, 2026

    අද (05) දින මුල් භාගය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම වාර්තාගත ලෙස රු. බිලියන 4 සීමාව ඉක්මවා ගොස් තිබුණි.

    මධ්‍යහ්න 12.00 වන විට වාර්තා වී තිබුණු සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රු. බිලියන 4.85ක් වූ අතර කාගිල්ස් සමාගමෙන් වාර්තා වූ රු. බිලියන 4.07ක ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවක් ඒ සඳහා ප්‍රධාන දායකත්වය ලබා දී තිබුණි.

    වාර්තා වන අන්දමට කාගිල්ස් (සිලෝන්) පීඑල්සී හි 5 වැනියාට විශාලතම කොටස් හිමියා වූ A.I. Dominic විසින් ඔහු සතුව තිබූ 6,461,682ක කොටස් ප්‍රමාණය මෙහිදී අලෙවි කර ඇති අතර එහිදී එක් කොටසක් රු. 630.00 බැගින් ගනුදෙනු වී ඇත. ඒ අනුව මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රු. බිලියන 4.07ක් වේ.

    මේ අතර අද (05) මධ්‍යහ්නය වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 126.16ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබුණි.