කුඩා ව්‍යාපාරවලට සහාය දීමට හා ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබලගැන්වීමට එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 40 ක්

    September, 16, 2021

    කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට (SME) රුකුල්දීම පිණිස සහ කාන්තා ව්‍යවසායිකාවන් වෙත සහාය ලබාදීම පිණිස අද (16) දින එක්සත් ජනපදය මූල්‍යකරණ කටයුත් සඳහා ඩොලර් මිලියන 40 ක් SDB බැංකුව වෙත ලබාදෙන ලදී. මෙම ණය මුදල්, ජාත්‍යන්තර ආයෝජන සංවර්ධන සහ සර්වග්‍රාහී ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් (DFC) අරමුදල් ලෙස SDB බැංකුව, DFCC බැංකුව සහ NDB බැංකුව ඇතුළු ශ්‍රී ලාංකික බැංකු වෙත ලබාදෙන ඩොලර් මිලියන 265ක මුදලින් කොටසක් වේ.

    SDB බැංකුව ‌මෙම ඩොලර් මිලියන 40 යොදාගනිමින් ශ්‍රී ලංකාව මුළුල්ලේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙත රු. 500,000ත් රු. මිලියන 1ත් අතර ණය 1,400 ක් ලබා දෙනු ඇත. DFC හි 2X කාන්තා මුලපිරීමේ කොටසක් වශයෙන් මෙම ණය මුදල්වලින් අවම වශයෙන් සියයට 40 ක් ලබාදෙනු ඇත්තේ කාන්තාවන්ට හිමි හෝ කාන්තාවන් සවිබල ගන්වන භාණ්ඩයක් හෝ සේවාවක් සපයන ව්‍යාපාරවලට වේ. මෙම ණය අතරින් බොහෝමයක්, ගෝලීය කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට ලක් වූ ව්‍යාපාර වෙත අතදෙනු ඇත.