කොකා-කෝලා පදනම සහ ජනතාක්ෂන් එක්ව අවිධිමත් කසළ කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණින් තවත් ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියක් සාර්ථකව අවසන් කරයි

    June, 24, 2026

    ඉලක්කගත දිස්ත්‍රික්ක පුරා පවතින අවිධිමත් කසළ කළමනාකරණ පද්ධති ශක්තිමත් කිරීම සහ විධිමත් කිරීම අරමුණ කරගත් වගකීම් සහගත ලෙස පරිභෝජනය සහ නිසි කසළ බැහැර කිරීමේ පුරුදු පිළිබඳ ප්‍රජාව දැනුවත්භාවය ඉහළ නැංවීම, ප්ලාස්ටික් කසල කළමනාකරණයේ නියුතු කාන්තාවන් හා තරුණ තරුණියන් සඳහා තිරසාර ජීවනෝපාය සහ ආදායම් උත්පාදන අවස්ථා නිර්මාණය කිරීම මෙන්ම මෙම SWYFT ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණු ලෙස පෙන්වා දිය හැකිය. තිරසාර චක්‍රීය ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධානතම අරමුණ වේ.

    වසර දෙකක් පුරා ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ පාරිසරික ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථාන කිහිපයක් සනිටුහන් කරනු ලැබුවේ කාන්තාවන් සහ තරුණ තරුණියන් විසින් මෙහෙයවනු ලබන නවීන බේලිං යන්ත්‍රෝපකරණවලින් සමන්විත, ද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථාන පහක් ස්ථාපිත කරමිනි. එහිදී හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් තලවාකැලේ වතු සමාගම සමඟ හවුල්කාරිත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල විදුලියෙන් ක්‍රියාත්මක වන MCPC මධ්‍යස්ථානය දියත් කිරීම මෙම ව්‍යාපෘතිය තුලින් සිදු වූ අතර එය පෞද්ගලික අංශය සහ සිවිල් සමාජය අතර සහයෝගීතාවයේ සුවිසල් පියවරක්ද විය.

    කාබන් විමෝචනය අවම කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් කසළ කළමනාකරණය වෙනුවෙන්ම විශේෂයෙන් සැලසුම් කරන ලද විදුලි ත්‍රිරෝද රථ හඳුන්වා දීමද මෙහි විශේෂත්වයකි. ඒ යටතේ අවම කාබන් විමෝචනයක් සහිත කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ප්‍රවර්ධනය කිරීම සඳහා දේශීය කසළ එකතු කරන්නන් වෙත විදුලි ත්‍රිරෝද රථ අටක් සහ විදුලි බයිසිකල් පහළොවක් බෙදා දීමට මෙහිදී කටයුතු කරන ලදී.

    කසල කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලි පුද්ගලයින්ගේ මූල්‍ය තිරසාරභාවය සහ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේදී දිගුකාලීන ආදායම් උත්පාදනය සහ ව්‍යාපාරික තිරසාරභාවය වෙනුවෙන් සහාය වීමට ද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථාන සඳහා මෙන්ම තනි තනිව කටයුතු කරන කසල එකතු කරන්නන් 40 දෙනෙක් වෙනුවෙන් විශේෂිත ව්‍යාපාරික සැකසුම් සකස් කිරීමද මෙහිදී සිදු විය.

    මීට අමතරව, තනි පුද්ගල කසළ එකතු කරන්නන් 45 දෙනෙකු සඳහා ඉලක්කගත ධාරිතා සංවර්ධන පුහුණුව ලබා දුන් අතර, එමඟින් ඔවුන්ගේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට සහ චක්‍රීය ආර්ථිකය තුළ ඔවුන්ගේ ආර්ථික අවස්ථා පුළුල් කිරීමට අවස්ථාව උදා විය. සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීම් සඳහා සහය වීමට සහ පුළුල් කසළ කළමනාකරණ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා, මෙම ව්‍යාපෘතිය මඟින් පුළුල් ජාතික PET ප්ලාස්ටික් පරිසර පද්ධති අධ්‍යයනයක් ද සිදු කරන ලදී.

    මෙම ව්‍යාපෘතිය මඟින් වගකීම් සහගත ප්ලාස්ටික් පරිභෝජනය, කසළ වර්ගීකරණය, ප්‍රතිචක්‍රීකරණය සහ පරිසර හිතකාමී ලෙස කසළ බැහැර කිරීමේ පුරුදු ප්‍රවර්ධනය කිරීම සඳහා පුළුල් දැනුවත් කිරීමේ සහ අධ්‍යාපනික මුලපිරීම් ක්‍රියාත්මක කිරීමද විශේෂත්වයකි. ඒ සඳහා විවිධ මට්ටම්වලින් ප්‍රජාවන් සහ පාර්ශවකරුවන් සාර්ථකව සම්බන්ධ කර ගැනීමට ඔවුන් කටයුතු කළහ. පාසල් දරුවන් 15,000කට වැඩි පිරිසක්, ප්‍රජා සාමාජිකයින් 3,000කට වැඩි පිරිසක් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් 400කට වැඩි පිරිසක් වෙත ළඟා වීමට ඒ තුලින් ඔවුන්ට හැකියාව උදා විය. ඉලක්කගත දැනුවත් කිරීමේ වැඩසටහන් හරහා, ධනාත්මක චර්යාත්මක වෙනස්කම් ඇති කිරීමට, ප්ලාස්ටික් දූෂණය පිළිබඳ මහජන අවබෝධය වැඩි කිරීමට සහ තිරසාර කසළ කළමනාකරණය මෙන්ම පාරිසරික ආරක්ෂණය සඳහා වන සාමූහික ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට මෙම ව්‍යාපෘතිය දායක විය.

    ව්‍යාපෘතියේ සාර්ථක නිමාව සනිටුහන් කරමින්, ජාතික අවිධිමත් කසළ එකතු කරන්නන් ඇගයීමේ උත්සවය පසුගියදා අමාරි කොළඹ හෝටලයේදී පවත්වන ලදී. පරිසරය වෙනුවෙන් අවිධිමත් කසළ එකතු කරන්නන් ඉටුකරන අමිල මෙහෙවර අගයනු පිණිස මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර ඒ සඳහා රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශයේ ප්‍රධානීන් සහ සිවිල් සමාජ හවුල්කරුවන් එක් විය. එහිදී, සහභාගී වූවන්ගේ වෘත්තීය ආරක්ෂාව සහ යහපැවැත්ම ඉහළ නැංවීම සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ  කට්ටල ද බෙදා දීමද සිදු විය.

    මෙම ජාතික උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සහභාගී වූ අතර, පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය සහ බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද ඊට එක් වූහ.

    මෙහිදී අදහස් දැක්වූ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ගරු ඇන්ටන් ජයකොඩි මැතිතුමා සඳහන් කර සිටියේ “ප්ලාස්ටික් දූෂණය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාරිසරික අභියෝගයක් බවට පත්ව තිබෙනවා. ප්ලාස්ටික් කසළ එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණය කිරීම සඳහා අවිධිමත් කසළ කළමනාකරණ ක්ෂේත්‍රයෙන් ලැබෙන දායකත්වය අතිශයින්ම වැදගත් වන අතර එය ඇගයීමට ලක්විය යුතුයි. මෙම ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලංකාව පිරිසිදු මෙන්ම තිරසාර රටක් ලෙස පවත්වා ගැනීමට සහය වෙමින් පුද්ගලික අංශයේ හවුල්කරුවන් සහ අනෙකුත් පාර්ශවකරුවන් ලබාදෙන සහයෝගය බෙහෙවින් අගය කරනු ලබනවා” යනුවෙනි.

    මෙම අවස්ථාවට එක් වූ Janathakshan GTE Ltd හි ප්‍රධාන විධායක නිලධාරී/විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජනක හේමතිලක මහතා “ජනතාක්ෂන් ආයතනය ලෙස අපි, පරිසරය සහ පරිසර පද්ධති ආරක්ෂා කරන අතරම, චක්‍රීය ආර්ථිකය තුළ මිනිසුන් ශක්තිමත් කිරීමට සහ ප්‍රජාවන් සම්බන්ධ කර ගැනීමට කැපවී සිටිනවා. තාක්ෂණය සහ නවෝත්පාදනයන් උපයෝගී කර ගනිමින්, අපි එකවරම මිනිසුන්ට මෙන්ම පරිසරයට ද ප්‍රතිලාභ සැලසෙන අයුරින්, කසළ වටිනා සම්පතක් බවට පත් කිරීම සඳහා කැපවී කටයුතු කරනවා.” යනුවෙන් පැවසීය.

    මෙම ජාතික උත්සවය තුළින් SWYFT ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම මඟින්, ජනතාක්ෂන් ආයතනය සහ කොකා-කෝලා පදනම ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් කසළ කළමනාකරණ ක්‍රියාවලිය ප්‍රජා මූලික පාරිසරික තිරසාරභාවය මෙන්ම ආර්ථික සවිබල ගැන්වීම සඳහා සියලු සාර්ථක ආකෘතීන් ස්ථාපිත කරමින් සියලු පාර්ශවයන් ද සම්බන්ධ කර ගනිමින් ලස්සන රටක් උදෙසා තම වගකීම යුතුකම ඉදිරියටත් ඉටු කරන්නේය.