කොටස් වෙළෙඳපොළේ ජයග්‍රාහී සතියක නිමාව

    August, 7, 2026

    අද (07) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක ඒකක 100.42ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වූ තර දිනය අවසානයේ දී එහි අගය ඒකක 21,370.09ක් ලෙසින් වාර්තා විය. මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 16.66ක ඉහළ යාමක් සනිටුහන් කරමින් දිනය අවසානයේ දී ඒකක 5,988.16ක් ලෙසින් වාර්තා වී තිබුණි.

    අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 1.89ක් ලෙසින් සටහන් විය.

    මෑත කාලය බැලුවහොත් මෙම සතිය කොටස් වෙළෙඳපොළේ වඩාත් සක්‍රීය සතියක් ලෙසින් හැඳින්විය හැකිය.

    මෙම සතියේ එක් එක් දිනයන් හි සියලු කොටස් මිල දර්ශකය උච්ඡාවචනය වූ ආකාරය සහ එම දිනයන් හි වාර්තා වූ පිරිවැටුම් පහත පරිදි වේ.

    අගෝස්තු 03: ඒකක -7.43 ; රු. බිලියන 1.41

    අගෝස්තු 04: ඒකක -39.70 ; රු. බිලියන 2.95

    අගෝස්තු 05: ඒකක 84.86 ; රු. බිලියන 8.47

    අගෝස්තු 06: ඒකක 102.73 ; රු. බිලියන 12.23

    අගෝස්තු 07: ඒකක 100.42 ; රු. බිලියන 1.89

    මේ අනුව මෙම සතිය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 240.88 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත. එසේම මෙම සතිය තුළ වාර්තා වී ඇති සමස්ත පිරිවැටුම රු. බිලියන 26.95ක් වේ.

    මෙලෙස සාපේක්ෂව විශාල පිරිවැටුමක් මෙම සතිය තුළ දී වාර්තා වීමට ප්‍රධාන වශයෙන් ගනුදෙනු කිහිපයක් බලපෑවේය.

    බදාදා (05) දිනයේ දී කාගිල්ස් (සිලෝන්) පීඑල්සී හි රු. බිලියන 4.07ක හා හේලීස් පීඑල්සී හි රු. බිලියන 2.01ක ගනුදෙනු වාර්තා වූ අතර කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ප්‍රමුඛ කොටස් හිමිකාරීත්වය හුවමාරු වෙමින් ඊයේ (06) දිනයේ දී එම සමාගමේ රු. බිලියන 9.02ක කොටස් හුවමාරු වී තිබුණි. 

    ඊයේ (06) වාර්තා වූ රු. බිලියන 12.23ක පිරිවැටුම පසුගිය මාස 07ක කාලය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වූ ඉහළම දෛනික පිරිවැටුම ලෙසින් ද වාර්තා වේ.