කොටස් වෙළෙඳපොළ අද උදාසීනයි. පිරිවැටුමත් පහළට

    June, 1, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වයේ උදාසීන බවක් අද (01) දිනය තුළ නිරීක්ෂණය කළ හැකි විය.

    දිනය ආරම්භයේ පටන් මෙම තත්ත්වය දක්නට ලැබුණු අතර ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 45.76කින් පහළ ගොස් ඒකක 22,264.04ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 8.95කින් පහළ ගොස් ඒකක 6,150.20ක් ලෙසත් සටහන්ව තිබුණි.

    පූර්ව ගනුදෙනු දිනය වූ පසුගිය සිකුරාදා (29) දිනයේ දී රු. බිලියන 7ක් ඉක්මවූ පිරිවැටුමක් වාර්තා වී තිබුණු පසුබිමක අද දිනයේ දී දෛනික පිරිවැටුම රු. බිලියන 1.66ක් දක්වා පහළ අගයයක් ගැනීම විශේෂත්වයකි.

    ඩයලොග් ආසියාටා (රු. මි. 155), RIL ප්‍රොපටීස් (රු. මි. 148) සහ HNB (රු. මි. 115) යන සමාගම්වලින් පමණක් රු. මිලියන 100 ඉක්මවා ගිය පිරිවැටුම් වාර්තා වී තිබුණි.

    2026 වසරේ මුල් මාස 05 තුළ දී 1.39%ක වර්ධනයක් සියලු කොටස් මිල දර්ශකයට අනුව කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වී තිබේ.