July, 20, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන කඩාවැටීමක් අද (20) දිනයේ දී වාර්තා වූ අතර එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 197.31කින් සහ S&P SL20 දර්ශක අගය ඒකක 56.46කින් පහළ යන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,208.10ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 5,943.22ක් ලෙසත් වාර්තා වී තිබුණි.
දිනය තුළ දැකගැනීමට ලැබුණු සුවිශේෂී සිදුවීම වූයේ රු. බිලියන 2.63ක සාපේක්ෂව ඉහළ පිරිවැටුමක් වාර්තා වී තිබීමයි. පූර්ව ගනුදෙනු දිනය වූ පසුගිය ජූලි 17 දින සිකුරාදා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පිරිවැටුම රු. මිලියන 722ක් ලෙසින් සටහන්ව තිබුණු අතර එය ගෙවීගිය මාස 15ක කාලප්‍රාන්තරය තුළ වාර්තා වී තිබුණු අඩුම දෛනික පිරිවැටුම විය. එවන් තත්ත්වයක් තුළ අද (20) දින පිරිවැටුම මෙලෙස් සාපේක්ෂව ඉහළ අගයයක් ගැනීම කැපීපෙනෙන කරුණක් වේ.
දෛනික පිරිවැටුම ඉහළ අගයයක් ගැනීම සඳහා සමාගම් කිහිපයකම ගිවිසාගනු ලැබූ ගනුදෙනු කිහිපයක් ප්‍රධාන වශයෙන් හේතු වූ අතර එහිදී CT හෝල්ඩිංග්ස් රු. මිලියන 561ක්, කාගිල්ස් (සිලෝන්) රු. මිලියන 544.95ක් සහ ලංකා මිල්ක් ෆුඩ්ස් රු. මිලියන 232ක් ලෙසින් ගිවිසා ගනු ලැබූ ගනුදෙනු වාර්තා වී තිබුණි.
සමාගම් 179ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව අද දින පහළ ගොස් තිබුණි. එහිදී ඩයලොග් ආසියාටා, කොමර්ෂල් බැංකුව, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ කාර්සන් කම්බර්බැච් යන සමාගම්වල කොටස් මිල පහළ යාම්, සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට බෙහෙවින් බලපා ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා පෙන්වා දේ.

Video Story