කොටස් වෙළෙඳපොළ අද පිරිවැටුම රු. බිලියන 16 පනී. CT හෝල්ඩිංග්ස් සහ කාගිල්ස් (සිලෝන්) සමාගම්වලින් දැවැන්ත ගනුදෙනු

    August, 24, 2026

    අද (24) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තාගත රු. බිලියන 16.85ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.

    මෙය 2025 ජූලි 16 දිනෙන් පසු තනි දිනක් තුළ වාර්තා වී තිබෙන ඉහළම පිරිවැටුම වන අතර එම දිනයේ දී රු. බිලියන 17.01ක පිරිවැටුමක් වාර්තා වී ඇති බව කොටස් වෙළෙඳපොළ දත්ත වාර්තා පෙන්වා දේ.

    මූලිකවම සමාගම් දෙකක ගිවිසාගනු ලැබූ කොටස් හුවමාරු හරහා මෙම දැවැන්ත පිරිවැටුම වාර්තා වී තිබුණි.

    ප්‍රධාන වශයෙන් CT හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිලියන 20.14ක් ගිවිසාගනු ලැබූ ගනුදෙනු ලෙසින් හුවමාරු වී තිබුණු අතර ඒ එක් කොටසක් රු. 575ක් බැගිනි. ඒ අනුව රු. බිලියන 11.58ක පිරිවැටුමක් ඒ හරහා වාර්තා විය.

    මීට අමතරව කාගිල්ස් (සිලෝන්) සමාගමේ කොටස් මිලියන 6ක් එකක් රු. 700 බැගින් ගනුදෙනු වී තිබුණු අතර ඒ හරහා වාර්තා වී තිබුණු පිරිවැටුම රු. බිලියන 4.2කි.

    CT හෝල්ඩිංග්ස් යනු කාගිල්ස් (සිලෝන්) සමාගමේ මව් සමාගමයි. කාගිල්ස් (සිලෝන්) හි 71.18%ක බහුතර කොටස් හිමිකාරීත්වය ඇත්තේ CT හෝල්ඩිංග්ස් පීඑල්සී සතුවය.