May, 11, 2020
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (11) දින පෙරවරු 11.00ට ආරම්භ වී මිනිත්තුවක කාලයක් හෝ ගත වීමට මත්තෙන් වසා දමනු ලැබීය. ගනුදෙනු පද්ධතියට අනුව අවසාන ගනුදෙනුව සිදුව ඇත්තේ පෙරවරු 11.00.38 ටය.

දිනය තුළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,392.43 ක් ලෙසින් වාර්තා වූ අතර එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව ඒකක 179.20 ක හෙවත් 3.92% ක පහළ යාමකි. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 196.93 කින් පහළ ගොස් ගනුදෙනු අවසානයේ දී ඒකක 1,750.49 ක් ලෙසින් සටහන් වූ අතර එය 10.11% ක පහළ යාමක් වේ. පෙර දිනයට සපේක්ෂව 10%ක ප්‍රමාණයකින් S&P SL20 දර්ශකය පහළ යාම කොටස් වෙළෙඳපොළ වසා දැමීමට අද දින හේතුවිය.
අද දින සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාම සඳහා වැඩි බලපෑමක දක්වන ලද සමාගම් වශයෙන් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව සහ ඩිස්ටිලරීස් ශ්‍රී ලංකා සමාගම් හැඳින්විය හැකිය.
ගනුදෙනු කාලසීමාව තුළ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටසක මිල රු. 105.00 ක් දක්වා රු. 10.40 (9.01%) කින් ද, සම්පත් බැංකුවේ කොටසක මිල රු. 100.00 දක්වා රු. 19.00 (15.97%) කින් ද, කොමර්ෂල බැංකුවේ කොටසක මිල රු. 55.00 ක් දක්වා රු. 5.10 (8.49%) කින් ද, ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා සමාගමේ කොටසක මිල රු. 12.00 ක් දක්වා රු. 1.00 (7.69%) කින් ද පහළ යන ලදී.
සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීම සඳහා සමාගම් 118ක කොටස් මිල ගණන් පහළ යාම බලපා තිබේ.
කොටස් වෙළෙඳපොළ මිල දර්ශක පහළ යන අවස්ථාවේ දී වෙළෙඳපොළ කටයුතු ස්වයංක්‍රීයවම අත්හිටුවීම අදියර තුනක් යටතේ ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව විසින් ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබූ අතර එහි දී S&P SL20 දිනය තුළ දී පෙර දිනයට සාපෙක්ෂව 10%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගියහොත් එම දිනය තුළ දී කොටස් වෙළෙඳපොළ වසා දැමීමට තීරණය කර තිබුණි.
මේ අතර පසුගිය දා අද දෙරණ 24 නාලිකාවේ විකාශය වූ talk with CHATHURA සංවාදාත්මක වැඩසටහන සමඟ එක් වූ මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කියා සිටියේ, රටේ මීළඟ මාස 06 සඳහා ප්‍රතිපත්තියක් සැකසෙන තෙක් කොටස් වෙළෙඳපොළ වසා තැබිය යුතු බවයි. එම මාස 06 දෙස බලා ගනුදෙනුකරුවන් තම ආයෝජන සම්බන්ධයෙන් තීරණ ගනු ඇති බව ධම්මික පෙරේරා මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
අද දින දෛනික ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 24.89 ක් ලෙසින් සටහන් විය.
සබැඳි පුවත්,
Video Story